20 වන සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ බලතල කප්පාදු වන බවට විපක්ෂය ගෙන යන ප්‍රචාර අසත්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
විගණකාධිපතිවරයා සම්බන්ධ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ජනතාවගේ අවධානයට යොමුවන්නේ කලාතුරකින් වන අතර මේ සම්බන්ධයෙන් දුර්මත ප්‍රචාරය කිරීම විපක්ෂයට පහසු කාර්යයක් වී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ. 19 වන සංශෝධනයෙන් විගණන කොමිසම ඇති කළ බවත් 20 වන සංශෝධනයෙන් එය අහෝසි කිරීමට කටයුතු කරන බවත් විපක්ෂය නගන ප්‍රධානම දුර්මතය වනවා. අග්‍රාමාත්‍යවරයා සදහන් කරන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් විගණන කොමිසමක් ඇති නොකළ අතර එම සංශෝධනයෙන් සිදුකර ඇත්තේ හුදෙක් විගණන සේවා කොමිසමක් පිහිටුවීම පමණක් බවයි.
මෙම කොමිසමෙන් කිසිදු විගණන කටයුත්තක් සිදුවන්නේ නැති බවයි මහින්ද රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. මෙම කොමිසම ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයට අයත් සාමාජිකයන් පත් කිරීම, උසස් කිරීම, මාරු කිරීම, විනය පාලනය කිරීම වැනි කටයුතු සිදු කරනවා. රජයේ සේවකයන් සම්බන්ධ එවැනි කටයුතු සාමාන්‍යයෙන් සිදු කරන්නේ රාජ්‍ය සේවා කොමිසමයි. විගණන සේවා කොමිසමක් ඇති කිරීමෙන් සිදු වූයේ රාජ්‍ය සේවා කොමිසම මගින් කෙරෙන කාර්යයන් ඉටු කිරීම සදහා තවත් එවැනිම කොමිසමක් ඇති කිරීම පමණක් බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.
20 වන සංශෝධනයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය විගණකාධිපතිවරයාගේ වපසරියෙන් ඉවත් කිරීමට යෝජනා කර ඇති බවට විපක්ෂය ගෙනයන අසත්‍ය ප්‍රචාර ද අග්‍රාමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා. 1978 ව්‍යවස්ථාවේ ආරම්භයේ සිටම ජනාධිපති ලේකම් කාර්යාලය හා අග්‍රාමාත්‍ය කාර්යාලය සෑම විටම පැවතියේ විගණකාධිපතිවරයාගේ වපසරිය තුළයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර 154 එක වගන්තියේ ප්‍රතිපාදනවලට අනුව සියලු රාජ්‍ය දෙපාර්තමේන්තු යන වදන තුළට ජනාධිපති ලේකම් කාර්යාලය හා අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය ද ඇතුළත් වුණා.
එම ආයතන රජයේ දෙපාර්තමේන්තු ලෙස රජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ සෑම විටම ලැයිස්තු ගතකර තිබූ බවයි නිවේදනයේ දැක්වෙන්නේ. මෙම ආයතන දෙක පමණක් නොව හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් පවත්වාගෙන යන කාර්යාලය ද වෙනම දෙපාර්තමේන්තුවක් ලෙස සලකා ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පවසනවා. මෙම සියලු ආයතන සෑම කලකම විගණනය කළේ විගණකාධිපතිවරයායි. ජනාධිපති හා අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාල පිළිබද විගණනය සම්බන්ධයෙන් 1978 ව්‍යවස්ථාව ආරම්භයේ සිටම පැවති වගන්තිය 20 වන සංශෝධනයෙන් නැවත ස්ථාපනය කර තිබෙනවා.
රජයේ අයිතිය යටතේ පවතින සමාගම් විගණකාධිපතිවරයාගේ වපසරියෙන් ඉවත් කරන බවට ගෙන යන අසත්‍ය ප්‍රචාර ද අග්‍රාමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා. රාජ්‍ය, සංස්ථා හා කොටස් සියයට 50 කට වඩා රජයට අයත් සමාගම්වල විගණන කටයුතු පාලනය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 දෙක වගන්තිය යටතේයි. එම වගන්තියට අනුව විෂය භාර අමාත්‍යවරයාට තමන් යටතේ පවතින රාජ්‍ය, සංස්ථාවක හෝ රජයට අයත් සමාගමක විගණන කටයුතු සුදුසුකම් ලැබූ වෙනත් විගණන සමාගමකට පැවරීමට හැකිවනවා. එහෙත් එසේ කිරීමට පෙර එයට අනිවාර්යයෙන්ම මුදල් අමාත්‍යවරයාගේ එකගත්වය ලබාගත යුතු අතර විගණකාධිපතිවරයාගෙන් ද විමසා බැලිය යුතු වනවා. 1978 ව්‍යවස්ථාවේ සිටම පැවති මෙම වගන්තිය 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් වෙනස් නොවූ අතර 20 වන සංශෝධනයෙන් ද වෙනසක් සිදුවන්නේ නැහැ.
විගණකාධිපතිවරයා විය යුත්තේ සුදුසුකම් ලැබූ විගණකවරයෙකු බවට පවතින කොන්දේසිය 20 වන සංශෝධනයෙන් අහෝසි වන බවට නගන චෝදනාව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරනවා. මෙහිදී ද 19 වන ව්‍යවස්ථා සංශෝධනයට කළින් පැවති 153 එක වගන්තිය නැවත ස්ථාපනය කිරීමයි සිදුව ඇත්තේ. රටක ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නේ එය කියවන අයට ව්‍යවහාර ඥානය තිබෙනවාය යන පූර්ව උපකල්පනය මත බව ද අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.
නීතිපතිවරයා හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කළ යුත්තේ නීතිඥයෙකු යැයි ව්‍යවස්ථාවේ කොතනක හෝ සදහන් නොවන අතර නීතිපති, විගණකාධිපති හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ආදී තනතුරු සදහා සෑම විටම පත් වන්නේ අදාළ විෂය සම්බන්ධයෙන් අධ්‍යපන හා වෘත්තීය සුදුසුකම් ඇති පුද්ගලයන් පමණයි. එසේ නොමැතිව එවැනි ධුරවල රාජකාරි ඉටු කළ නොහැකි බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. 20 වන සංශෝධනය සිදු කෙරෙන්නේ විගණකාධිපතිවරයා සම්බන්ධ වගන්තිවලට 19 වන සංශෝධනයෙන් ඇති කළ වෙනස්කම් අහෝසි කොට 19 වන සංශෝධනයට පෙර ව්‍යවස්ථාවේ තිබූ වගන්ති එලෙසම නැවත ස්ථාපනය කිරීම පමණක් බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරනවා. කරුණු හරිහැටි අවබෝධ කර ගනිමින් විපක්ෂය ක්‍රියාත්මක කරන මෙම දුෂ්ට උත්සාහය පරාජය කිරීම කාගේත් යුතුකමක් බව ද රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් කියා සිටිනවා.
මේ අතර ආණ්ඩුවට හා රටට එරෙහිව පවතින සතුරු වටලෑම පිළිබද ගැඹුරු අවබෝධයකින් යුතුව යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට අදාළව ආණ්ඩුව ආරක්ෂා කිරීමේ දේශපාලන ස්ථාවරයක් තමන් ගන්නා බව ජාතික නිදහස් පෙරමුණ නිවේදනය කරනවා. එම පෙරමුණේ දේශපාලන මණ්ඩලය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන එහි ප්‍රධාන ලේකම් එස් විජේසිරි මහතා සදහන් කරන්නේ සිය පක්ෂය ඉදිරිපත් කර ඇති ඇතැම් විරෝධතා සම්බන්ධයෙන් සංවේදී වීම පිළිබද ආණ්ඩුවට ප්‍රණාමය පිරිනමන බවයි. සමාගම් රෙජිස්ටාර් යටතේ ලියාපදිංචි කර ඇති රජයට බහුතර කොටස් හිමි සමාගම් විගණනය කිරීම, හදිසි පනත් සම්මත කිරීම හා ද්විත්ව පුරවැසි බාධකය ඉවත් කිරීම යන ප්‍රධාන කරුණු 3 ක් යටතේ නැවත සංශෝධනය කළ යුතු අංශ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් කර තිබෙනවා.
The post 20න් විගණකාධිපතිගේ බලයට මොකද වෙන්නේ ? – අගමැති ඇත්ත හෙළි කරයි appeared first on ITN News.
Post a Comment