Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාධ්‍ය හැඳුනුම්පත සහිත අයෙකු අත්අඩංගුවට ගතහොත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා දැනුවත් කළ යුතුයි  

Add comments

සුපසන් ජනමාධ්‍ය රටාවක් ගොඩනැගීම උදෙසා ජනමාධ්‍යවේදීන් සවිබල ගැන්වීමට සහ මාධ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටී.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (30) පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකා කර්තෘ සංසදය සමග පැවැති සාකච්ඡාවේ දී ය.
ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනය උදෙසා මාධ්‍යවේදී උසස් අධ්‍යාපන ආයතනයක් ස්ථාපනය කිරීමේ වැදගත්කම අවබෝධ කරගනිමින් දැනටමත් එහි මූලික කටයුතු ආරම්භ කර ඇත. වෛද්‍යවරුන්, නීතිඥයන් ඇතුළු සෑම අංශයකටම පාහේ මෙවැනි ආයතනයක්
පවතින අතර මාධ්‍යවේදීන්ට එවැනි අවස්ථාවක් නැති බව කර්තෘ සංසදය පෙන්වා දුන්නේය.

මාධ්‍යවේදියා වරලත් මාධ්‍යවේදියෙකු බවට පත් කිරීමේදී ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් මෙන්ම සේවා කාලය, පුහුණුව, පළපුරුද්ද කෙරෙහි ද සලකාබලන අතර තීරණය කරනු ලබන ප්‍රමිතියට පැමිණි පසු වරලත් සහතිකයක් ලබාදීම ගැන දැනට සාකච්ඡා කරමින් පවතින බව ද උසස්
ජනමාධ්‍ය ආයතනයක් ඇති කිරීම සම්බන්ධව ක්‍රියාකරන කමිටුව සඳහා කර්තෘ සංසදය නියෝජනය කරමින් එක් අයෙකු යෝජනා කිරීමට අවකාශ ඇති බව ද මෙහිදී සඳහන් කෙරිණ.

1973 අංක 5 දරණ පුවත්පත් මණ්ඩල පනත ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ මෑතකාලීන වර්ධනයක් හා ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් සංශෝධනය කොට යාවත්කාලීන කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා කර්තෘ සංසදය පවසා සිටියේ සමාජ මාධ්‍යජාලා
සහ විද්‍යුත් ඉලෙක්ට්‍රොනික මාධ්‍ය සඳහා වෙනත් යාන්ත්‍රණයක් ඇති කිරීම යෝග්‍ය බවයි.

පුවත්පත් මණ්ඩල පනත සංශෝධන ක්‍රියාදාමය ආරම්භ කරඇති අතර සංසදයේ අදහස් ලබාගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කළ අමාත්‍යවරයා මාධ්‍යවේදීන් රහස් පොලිසියට කැඳවීම සහ අපහසුතාවයට පත්වීම පසුගියදා සිදුවුවද එවැන්නක් ඉදිරියේදී කිසිදු ආකාරයකින් සිදු නොවන බවට ද සහතික විය.

ඉදිරියේදී ජනමාධ්‍ය හැඳුනුම්පත සහිත කෙනෙකු කිසියම් වරදකට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් විට එය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා වෙත අනිවාර්යෙන්ම දැනුම් දියයුතු බවට පොලිස්පතිවරයා දැනුවත් කරඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී තවදුරටත්
පැවසීය.

ඉදිරියේදී පාසැල් 3042 අතුරින් පාසල් දෙදහසක් හඳුනාගෙන මාධ්‍ය කව ස්ථාපනය කොට මෙම මාධ්‍ය කව සඳහා මාධ්‍ය අනුග්‍රහය දීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මාධ්‍යවේදී රක්ෂණය විධිමත් කොට මාස තුනකදී මාධ්‍යවේදීන් 3000කට පමණ රක්ෂණ ආවරණය සලසන බව ද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කීය. ආබාධ සහිත ප්‍රජාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් හා ඔවුන් පිළිබඳ මාධ්‍ය භාවිතාවේදී සංවේදී වන ලෙසත්, යහපත් ජනමාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට එක්වන ලෙසත් අමාත්‍යතුමා පුවත්පත් කර්තෘන්ගෙන් ඉල්ලා සිටි අතර කර්තෘ සංසදය ඊට ද එකඟත්වය පළ කළේය.

 

The post මාධ්‍ය හැඳුනුම්පත සහිත අයෙකු අත්අඩංගුවට ගතහොත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා දැනුවත් කළ යුතුයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG