Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ධීවරයින් 200ක් මුහුදේ අතරමං ; කාලගුණ හා නායයාම් අවදානම් නිවේදන තවදුරටත්  

Add comments

තද සුළං, තද වැසි හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. විපතට පත් වූවන් සියලු දෙනාට කඩිනමින් උපරිම සහන සලසන බව රජය පවසනවා. අතරමංව සිටින ධීවරයින්ට මාලදිවයිනට හා ඉන්දියාවට යාමට ද අවසර ගෙන තිබෙනවා.

අයහපත් කාලගුණික තත්ත්වය හෙට දිනයේ ද පැවතිය හැකියි. අනිද්දා දිනය තෙක් ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා. නාවික ප්‍රජාව ද ඒ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසයි ඉල්ලා සිටින්නේ.

දැනට මුහුදු ගොස් ඇති ධීවර යාත්‍රාවලට ළගම ඇති වරායන් වෙත පැමිණෙන ලෙසයි අවධාරණය කෙරෙන්නේ. ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතව සිටින ධීවරයින්ට මාලදිවයිනට හා ඉන්දියාවට ළඟා වීමට අවසර හිමිවනවා. ධීවර යාත්‍රා 30 ක ධීවරයින් 200 දෙනෙකු පමණ මුහුදේ අතරමංව සිටිනවා. ඉන් යාත්‍රා 14ක්ම හලාවත ප්‍රදේශයෙන් පිටත්ව ගිය යාත්‍රා බවයි ධීවර අමාත්‍යාංශය පවසන්නේ. ඔවුන් ගොඩබිමට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසනවා. නැවත දැනුම් දෙන තුරු බස්නාහිර, දකුණ, නිරිත දිග හා වයඹ ප්‍රදේශවල සිට කිසිදු යාත්‍රාවකට ධීවර කටයුතු සඳහා මුහුදේ යාමට අවසර ලබා නොදීමට ද තීරණය කර තිබෙනවා.

මේ අතර ආගරපතන ප්‍රදේශයේ දී සැඩ පහරට හසුව ගසාගෙන ගිය සිසුවියන් දෙදෙනාගේම සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා. 12 හැවිරිදි මෙම සිසුවියන් දෙදෙනා අනතුරට මුහුණ පෑවේ ඊයේ පාසල් ගොස් යළි නිවසට පැමිණෙමින් සිටියදීයි. ඔවුන් සැඩ පහරට හසුවූ ස්ථානයට කිලෝමීටරයක පමණ දුර ස්ථානයක තිබියදීයි සිරුරු සොයා ගැනුණේ.

අධික සුළං තත්ත්වයත් සමග සූරියවැව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් වැටීමෙන් 31 හැවිරිදි මව දියණිය හා තවත් අයෙකු මිය ගියා.

මේ අතර යතුරුපැදියක් මතට ගසක් කඩා වැටීමෙන් යතුරුපැදිකරු මිය ගියා. මහනුවර මහියංගනය මාර්ගයේ ඔරුතොට ප්‍රදේශයේදීයි මෙම අනතුර සිදුවුණේ. ඉන් මිය ගියේ මහනුවර ප්‍රදේශයේ පදිංචි  29 හැවිරිදි අයෙක්.

අධික වර්ෂාව හේතුවෙන් බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී ඇති නිසා රත්නපුර නගරය මගහැර විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රත්නපුර නගරයේ ව්‍යාපාර ස්ථාන රැසක් හා අතුරු මාර්ග රැසක් ද ජලයෙන් යටව පවතිනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 331 ක පුද්ගලයින් එක්දහස් දෙසීය පනස් දෙනෙකු ආපදාවට පත්ව සිටිනවා. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 න් 10ක්ම ආපදා තත්ත්වයට ලක්ව ඇති බවයි දිසාපතිනි මාලනී ලොකුපෝතාගම මහත්මිය පවසන්නේ.

ගිනිගත්හේන ප්‍රදේශයේ සිදු වූ නායයාමකින් වෙළෙඳසල් 10 ක් විනාශ වී පුද්ගලයෙකු අතුරුදන්ව සිටිනවා. කෙසේ වෙතත් ඔහුගේ සිරුර පසුව සොයා ගැනීමට හැකිවුණා. වෙළෙඳසල්වලින් ඉවත්වන ලෙස දන්වා සිටියත් ඊට කන් නොදීම නිසා මෙම විනාශය සිදු වූ බවයි නිලධාරීන් පවසන්නේ. ***හැටන් සෙල්ලහේවා***

අධික සුළඟත් සමග ගස් කඩා වැටීමෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස 100 කට ආසන්න සංඛ්‍යාවකට හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසනවා. හලාවත, මහවැව හා වෙන්නප්පුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මින් වැඩිම බලපෑම් එල්ල වී තිබෙනවා. තාවකාලික ධීවර නිවාස රැසක් ද විනාශ වුණා.

නුවරඑළිය හැටන් මාර්ගය එක් මංතීරුවකට පමණක් සීමා කර තිබෙනවා. ප්‍රධාන මාර්ගවලට ගස් හා පස් කඳු කඩා වැටීම ඊට හේතුවයි. නාවලපිටිය ප්‍රදේශයේ මාර්ගවලට ගස් කඩා වැටීම නිසා ද ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

අම්බලන්ගොඩ, බලපිටිය, තෙල්වත්ත ආදී ප්‍රදේශවල මාර්ගයට මුහුදු ජලය පැමිණීමත් සමග ගමනාගමන කටයුතුවලට ද බාධා සිදුවුණා.  බලපිටිය ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම නිසා  දුම්රිය ධාවනයට ද බාධා එල්ලවුණා. වතුගෙදර ප්‍රදේශයේ දී අධිබලැති විදුලි රැහැන් මතට කඩා වැටුණු විශාල ගසක් ඉවත්කර විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට විදුලිබල සේවකයින්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවුණා.

අයහපත් කාලගුණයත් සමග මුහුද රළු වීම හේතුවෙන් ගසාගෙන විත් රෑමස්සල කන්දේ ගල්පර අසළ ගැටුණු නෞකාව ගාල්ල ප්‍රදීපාගාරය ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබෙනවා. එහි කපිතාන්වරයා අසනීප තත්ත්වයෙන් පසුවූ බැවින් නාවික හමුදා ආරක්ෂාව යටතේ කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. මෙම භාණ්ඩ නෞකාවෙන් තෙල් ටොන් 10ත් 15 ත් අතර ප්‍රමාණයක් ඇති බව සඳහන්. එය මුහුදු ජලයට කාන්දු වීම වැළැක්වීම සඳහා පියවර ගනිමින් සිටින බවයි සමුද්‍ර ජීවී පරිසර ආරක්‍ෂණ අධිකාරිය පවසන්නේ.

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගමනාගමනට බාධා එල්ල වී නිවාස රැසකට ද හානි සිදුව තිබෙනවා. ගස් කඩා වැටීම ඊට හේතුවයි. ප්‍රදේශ රැසක විදුලි බලය ද විසන්ධි වී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.

මේ අතර දිස්ත්‍රික් කිහිපයක් සදහා නිකුත්කළ නාය යෑමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කරනවා. රත්නපුර, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටයි නාය යෑම් අවදානම් නිවේදන නිකුත් කෙරුණේ.

ඕනෑම ආපදා අවස්ථාවකට මුහුණ දිය හැකි පරිදී දිවයින පුරා ආපදා කළමනාකරණ ඒකක සූදානමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි හදිසි දුරකතන අංකය ද ක්‍රියාත්මකයි. විශේෂයෙන් නාවික හමුදාව ඇතුළු  ත්‍රිවිධ හමුදාව ද සහන කටයුතු සදහා දායක වී සිටිනවා.

අයහපත් කාලගුණයෙන් විපතට පත්වූවන්ට කඩිනමින් සහන සලසන බවත් අවශ්‍ය වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් සිදු කරන බවත් අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.

The post ධීවරයින් 200ක් මුහුදේ අතරමං ; කාලගුණ හා නායයාම් අවදානම් නිවේදන තවදුරටත් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG