කුරුණෑගල බුවනෙක හෝටලය ලෙස හැදින්වෙන පැරණි ගොඩනැගිල්ල විනාශ කිරීමට අදාළ අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිඛිත කරුණු දැක්වීමක් අද සිදු කෙරුණා.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගර සභාවේ නගරාධිපති, නාගරික කොමසාරිස් ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනිම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා එම ලිඛිත කරුණු දැක්වීමෙන් වැඩ බලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.
කුරුණෑගල නගරයේ පිහිටි බුවනෙක හෝටලය නමින් හැඳින්වෙන ගොඩනැගිල්ලේ එක් කොටසක් කඩා ඉවත් කිරීමට කුරුණෑගල නගරසභාව පසුගියදා කටයුතු කළා. මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණේ එම ගොඩනැගිල්ල පෞරාණික ස්ථානයක් බව සඳහන් කරමින්. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පුරාවිද්‍යා අධ්යක්ෂවරයා නිකුත් කළ විශේෂ වාර්තාවේ සඳහන් වන්නේ බුවනෙක හෝටලය ලෙස හඳුන්වා ගත් ගොඩනැගිල්ල ඉපැරණි ස්මාරකයක් බවයි. එමෙන්ම සිද්ධියට සම්බන්ධ ගොඩනැගිල්ල යම් පුද්ගලයෙක් විසින් හිතාමතා විනාශ කර ඇති බවද පුරාවිද්‍යා අධ්යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ එම වාර්තාවේ සඳහන් කර තිබෙනවා. මේ අතර සිදුවීම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂවරයා නිකුත් කළ වාර්තාවේ සදහන් වන්නේ අදාළ ගොඩනැගිල්ල විනාශ වී ඇත්තේ ස්වභාවික හේතුවක් මත නොවන බවත් එය කවුරු හෝ හිතාමතා විනාශ කර ඇති බවත්ය.
එමෙන්ම මෙම ගොඩනැගිල්ල විනාශ කිරීම හේතුවෙන් සිදු වූ තක්සේරු ගත කළ අලාභය ලක්ෂ හැත්තෑ දෙකක් පමණ වන බවද ඔවුන් සිය වාර්තාවේ සඳහන් කර තිබෙනවා. එය නැවත ගොඩනැගීම සඳහා රුපියල් ලක්ෂ 137 ක් පමණ වැය වන බවත් මෙම සිදුවීමෙන් රජයට සිදුව ඇති පාඩුව රුපියල් ලක්ෂ 200 ක් පමණ වන බවත් එම සංවිධානය සිය වාර්තාවෙන් තවදුරටත් පෙන්වා දෙනවා. එමෙන්ම අදාළ ගොඩනැගිල්ල පෞරානික ස්මාරකයක් බවට කුරුණෑගල නගර සභාවේ නිලධාරීන්ට අවස්ථා කිහිපයකදීම පුරාවිද්‍යා නිලධාරීන් දැනුවත් කර ඇති බව නගර සභාවේ ලේඛන තුළින් අනාවරණය වී තිබෙන බවයි නීතිපති දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. මේ අතර 2018 වසරේදී කුරුණෑගල නගරාධිපතිවරයා විසින්ම මෙම බුවනෙක හෝටලය සහිත ගොඩනැගිල්ල පැරණි රාජ සභාව තිබූ ස්ථානය බවට හඳුනාගෙන ඇති බවත් එය සංරක්ෂණය කළ යුතු බවට යෝජනාවක් නගර සභාව වෙත ඉදිරිපත් කර ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
The post කුරුණෑගල නගරාධිපතිත්,නාගරික කොමසාරිසුත් අත්අඩංගුවට ගන්න වරෙන්තු ගන්නැයි නීතිපති පොලීසියට කියයි appeared first on ITN News.
Post a Comment