ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ “නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය” හඳුන්වාදීමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍යවරයා අද (08) දින අරලියගහ මන්දිරයේ දී සහභාගි වුණා.
එහිදි නව රක්ෂණ ක්‍රමය හඳුන්වා දෙමින් මහා සංඝරත්නය වෙත රක්ෂණ සහතික පත් අගමැති අතින් පිළිගැන්වීම ද සිදුවිය.
සංඝයා වහන්සේලාගේ මව, පියා, සහෝදර සහෝදරියන් රජයේ හෝ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබීමක දී දිනකට රුපියල් 1 000 බැගින් රු.15 000ක උපරිමයක් සහ රෝහල්ගතව සිදු කරන වෛද්‍ය පරීක්ෂණයකට හෝ ඖෂධ ලබා ගැනීමකට රුපියල් 25 000ක උපරිමයක් දක්වා මෙම රක්ෂණ ක්‍රමය මගින් ගෙවීමට නියමිතයි.
රුපියල් 2000 ක මුදලක් පමණක් මේ සඳහා වාර්ෂිකව ගෙවිය යුතු අතර, එය පුණ්‍ය කටයුත්තක් ලෙස සැදැහැවතුන්ට පූජා කිරීමේ හැකියාව ද ඇත.
මෙම රක්ෂණ අවස්ථාව ඉදිරියේ දී අන්‍යාගමික පූජකතුමන්ලා වෙනුවෙන් ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මෙහි දී අවධාරණය කෙරිණි.
සසුනට දරුවන් පූජා කළ, නිවසක් නොමැති දෙමාපියන් සඳහා නිවසක් ලබා දීමේ “මිහිඳු නිවාස” යෝජනා ක්‍රමයට නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා මේ වන විටත් මුදල් වෙන් කර ඇති අතර කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝ නායක අතිපූජ්‍ය දිවියාගහ යසස්සී නාහිමියෝ බුද්ධ ශාසනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ඉටුකරන සේවාව පිළිබඳව ප්‍රශංසා කළහ.
ඉඩමක් හිමි එහෙත් නිවසක් ඉදිකර ගැනීමට නොහැකි සංඝයා වහන්සේලාගේ දෙමාපියන් වෙනුවෙන් එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 06 බැගින් නිවාස 2000 ඉදිකිරීම සඳහා ද මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබේ.
මෙම අවස්ථාව සඳහා නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, බෙල්ලන්විල රජමහා විහාරාධිපති අති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි, කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, විද්‍යෝදය මහා පරිවේණාධිපති බලංගොඩ සෝභිත නාහිමි, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි ඇතුළු මහා සංඝ රත්නය වැඩම කොට වදාළහ.
රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, බුද්ධශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරිප්පෙරුම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ජගත් වැල්ලවත්ත ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
The post භික්ෂූන් වහන්සේලාගේ ඥාතීන් උදෙසා නව රක්ෂණ ක්‍රමයක්; මාපියන්ට නිවාස යෝජනා ක්‍රමයක් appeared first on ITN News.
Post a Comment