පසුගිය වසර කිහිපයේදී තමා කැප වී කටයුතු කළේ රටේ පොදු ජනතාවට ආර්ථික හා සමාජයීය සමෘද්ධිය උදාකර දීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති වැඩසටහන් කිහිපයකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා.
මැදිරිගිරිය , ලංකාපුර ඇතුලු අවට ප්‍රදේශ නිකසල පුරවරයක් බවට පත් කිරීමේ අරමුණ ඇතිව සුංගාවිල ප්‍රදේශයේ ඉදිකළ කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානය විවෘත කිරීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. මෙහිදී යන්ත්‍රානුසාරයෙන් කාබනික පොහොර නිෂ්පාදනය සිදු කෙරෙනවා. ජපන් ජයිකා ආයතනයේ සහාය ඇතිව ඉදිකළ මෙම මධ්‍යස්ථානයෙන් දිනකට කසළ ටොන් 50 ක් පමණ ප්‍රතිචක්‍රීකරණය කළ හැකියි. ඉන් කොම්පෝස්ට් පොහොර ටොන් 20 ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතිනවා. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 230 ක් වැයකර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය පළාත් නවයේම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මේ අතර රුපියල් මිලියන 58 ක වියදමින් ඉදිකළ බිසෝපුර නව මහවැලි සංචාරක නිවාසය ද ජනාධිපතිතුමා විවෘත කළා. මහවැලි ගංගා ද්‍රෝණිය ආශ්‍රිත ගොවිජනපදවල කෘෂිකාර්මික ප්‍රජාව දේශගුණ විපර්යාසවල අහිතකර බලපෑම්වලට හුරුකරවීමේ ව්‍යාපෘතිය යටතේ සිදුකර ඇති ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීම ඉන් අනතුරුව සිදුකෙරුණා. මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ තවත් අතුරු ප්‍රතිඵලයක් ලෙස ඉදිකළ අත්සලු පියස , මහවැලි ඇපරල් සහ මහවැලි මින් විසිතුරු මැදුර මෙන්ම මහවැලි මල් හා පැළ තවාන විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතින්. අනතුරුව පැවති උත්සවයේදී මැදිරිගිරිය ජානපදිකයින් එක්දහස් දෙසීය විසි දෙදෙනෙකුට ඉඩම් ඔප්පු ප්‍රදානයක් ද සිදු කෙරුණා. තවත් සංවර්ධන කාර්යයන් රැසක්ම ජනාධිපතිතුමා ජනතා අයිතියට පත් කළා.
මේ අතර කිසිදු රටක විදේශ හමුදාවක් කුමන අවස්ථාවකවත් මෙරටට ගෙන ඒමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. පොළොන්නරුව අඩු ආදායම් ලාභී ජනතාව වෙනුවෙන් සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව කියාසිටියා.
The post පසුගිය වසර කිහිපයේ තමා කැප වූයේ ජනතා සමෘද්ධිය වෙනුවෙන් බව ජනපති පවසයි appeared first on ITN News.
Post a Comment