පොලිස් දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණිවල නිලධාරීන් බඳවා ගැනීමට හා උසස් වීම් ලබා දීමට අදාළව විධිමත් ක්‍රියා පටිපාටියක් ස්ථාපනය කර තිබෙනවා.
ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ උසස් වීම් නොලැබූ පොලිස් නිලධාරීන් තිස්එක්දහස් පන්සියයකට කාණ්ඩ කිහිපයක් යටතේ එකවර උසස් වීම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික පියවර ද මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව ජනාධිපතිතුමා සමග අද (19) පැවති සාකච්ඡාවකදී හෙළි වුණා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර ජනාධිපති කාර්යාලයේ අද (19) පෙරවරුවේ පැවති හමුවකදී මෙම කරුණු පිළිබඳ සාකච්ඡාවට ලක්වුණා. දීර්ඝ කාලයක් පුරා පොලිස් දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණිවල නිලධාරීන්ට අදාළ බඳවා ගැනීම් හා උසස් වීම් නිසි ක්‍රමවේදයකට සහ නිසි කාල රාමුවකට අනුව සිදු නොවූ අතර ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා පසුගිය රැස්වීම් කිහිපයකදී ලබා දුන් උපදෙස් අනුව මෙම පියවර ගෙන තිබෙනවා.
බඳවා ගැනීම් හා උසස්වීම්වලට අදාළ මෙම නව ක්‍රියාපටිපාටියට මේ වන විට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමව ඇති අතර එය ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට නියමිතයි. පොලීසියේ පහළ ශ්‍රේණිවල නිලධාරීන්ගේ සුබසාධන කටයුතු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වුණා. පොලිස් සේවයේ කළමනාකාර සහකාර සහ කාර්යාල කාර්යය සහායක, භාෂා පරිවර්තක වැනි පුරප්පාඩු පවතින තනතුරු සඳහා බඳවා ගැනීම් මෙන්ම උතුරේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා. එමෙන්ම කොටුව පොලිස් මූලස්ථානය ඉදිකිරීම සඳහා වූ ඉඩම පවරා ගැනීමට අදාළ කටයුතු පිළිබඳව ද සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
අවධානයට ලක් වූ අනෙක් කරුණ වූයේ පසුගිය යුද සමයේදී දිවිපිදූ විසිපන්දහසක් පමණ වූ පොලිස් නිලධාරීන් ද අපි වෙනුවෙන් අපි අරමුදලට ඇතුළත් කර ගනිමින් ඒ හරහා එම පවුල්වල සාමාජිකයින්ට නිවාස ඉදිකර දීමේ වැඩසටහනක් පිළිබඳවයි.
The post පොලිස් නිලධාරීන් තිස් එක්දහස් පන්සියයකට එකවර උසස්වීම් appeared first on ITN News.
Post a Comment