2020.09.02 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගණු ලැබූ තීරණ පහත දැක්වේ.
ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව පත් කිරීම
– “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ජාතික සංවර්ධන වැඩසටහන තුළින් දිළිඳුකම පිටු දකිමින් සියලු පාර්ශ්වවලට ප්රතිලාභ ලැබෙන අපනයන හා ආනයන ආදේශන නිෂ්පාදන ආර්ථිකයක් සඳහා දේශීය හා විදේශීය ආයෝජන පහසුකම් පුළුල් කිරීම රජයේ ප්රමුඛතාවකි. ඒ සඳහා ප්‍රතිපත්තිමය සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම පිණිස අතිගරු ජනාධිපතිතුමාගේ සභාපතිත්වයෙන් සහ පහත සඳහන් අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ගෙන් සමන්විත ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව පත් කිරීම පිණිස අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය
* ගරු ඩග්ලස් දේවානන්දා මැතිතුමා ධීවර අමාත්‍ය
* ගරු ගාමිණි ලොකුගේ මැතිතුමා ප්‍රවාහන අමාත්‍ය
* ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා වෙළඳ අමාත්‍ය
* ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා විදුලිබල අමාත්‍ය
* ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා මහාමාර්ග අමාත්‍ය
* ගරු විමල් වීරවංශ මැතිතුමා කර්මාන්ත අමාත්‍ය
* ගරු මහින්ද අමරවීර මැතිතුමා පරිසර අමාත්‍ය
* ගරු එස්.එම්.චන්ද්‍රසේන මැතිතුමා ඉඩම් අමාත්‍ය
* ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා ජලසම්පාදන අමාත්‍ය
* ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මැතිතුමා බලශක්ති අමාත්‍ය
* ගරු රමේෂ් පතිරණ මැතිතුමා වැවිලි අමාත්‍ය
* ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමා සංචාරක අමාත්‍ය
* ගරු රෝහිත අබේගුණවර්ධන මැතිතුමා වරාය හා නාවික අමාත්‍ය
* ගරු අලි සබ්රි මැතිතුමා අධිකරණ අමාත්‍ය
එසේම, එම අනුකාරක සභාවේ කටයුතු සඳහා පහත සඳහන් රාජ්‍ය අමාත්‍යතුමන්ලාගේ සහභාගිත්වය ලබා ගැනීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.
* ගරු දුමින්ද දිසානායක මැතිතුමා සූර්යබල, සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
* ගරු ජයන්ත සමරවීර මැතිතුමා ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
* ගරු දිලුම් අමුණුගම මැතිතුමා වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
* ගරු ඩී.වී.චානක මැතිතුමා ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
* ගරු නාලක ගොඩහේවා මැතිතුමා නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය
* ගරු අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමා මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය
මධ්‍යම පාන්තික ආදායම්ලාභීන්ට ඔවුන්ගේ ආදායමට දැරිය හැකි නිවාස ඉදි කිරීම සඳහා ණයකර මඟින් ප්රාග්ධනය සපයා ගැනීම
-රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු මධ්‍යම පාන්තික ආදායම්ලාභී සේවකයින් සඳහා ඔවුන්ගේ ආදායමට දැරිය හැකි නිවාස ලබා දීමට හැකි වන පරිදි නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස 2020-05-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික ප්රාග්ධනය සලසා ගැනීම සඳහා වසර 05 ක කාලයක් සඳහා වලංගු රුපියල් බිලියන 25ක ණයකර නිකුතුවක් සිදු කිරීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. එසේම ව්‍යාපෘතිය යටතේ ඉදි කරනු ලබන නිවාස විකිණීමෙන් ලැබෙන ආදායම මඟින් ණයකර පියවීමටත්, එම නිවාස මිල දී ගැනීම පිණිස අදාළ ගැනුම්කරුවන් වෙත අවුරුදු 25 30ක කාල සීමාවක් සඳහා සහන ණය පොළී අනුපාතයක් මත රාජ්‍ය බැංකු මඟින් නිවාස ණය ලබා දීමටත් අනුමැතිය ලබා දෙන ලදී.
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම
– ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 2015 වර්ෂයේදී සිදු කරන ලද 19 වන සංශෝධනය හේතුවෙන් ඇති වී තිබෙන විෂමතාවන් සහ අඩුපාඩු මගහැරවීම සඳහා කෙටිකාලීන පියවරක් වශයෙන් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන කෙටුම්පත සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට 2020 08 19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද එකී පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. එම පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය හා අනනුකූල නොවන බවටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(5) ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවේ 2/3කට නොඅඩු ඡන්දයෙන් සම්මත කර ගැනීමට හැකියාව පවතින බවටත් නීතිපති විසින් ලබා දී ඇති මතය අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.
තවද, 2020-08-19 දින අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කළ පරිදි අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මූලික කෙටුම්පතක් සකස් කිරීම පිණිස පහත සඳහන් විශේෂඥ කමිටුව පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලදී.
* ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා (සභාපති)
* ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා
* ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා
* ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා
* මහාචාර්ය නසීමා කමුර්දීන් මහත්මිය
* ආචාර්ය ඒ. සර්වේස්වරන් මහතා
* ජනාධිපති නීතීඥ සමන්ත රත්වත්තේ මහතා
* මහාචාර්ය වසන්ත සෙනෙවිරත්න මහතා
* මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා
ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳව විද්වත් කමිටුවක් පත් කිරීම
– අමාත්‍ය මණ්ඩලය විසින් 2017 අගෝස්තු මස 01 දින අනුමත කරනු ලැබ ඇති ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය සකස් කිරීමේදී නිසි පරිදි අදාළ සියලු පාර්ශ්වයන් විමසමින් එකී ප්‍රතිපත්තිය සකස් කර නොමැති බවට නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, වර්තමානයට ගැළපෙන අයුරින් නව ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම පිණිස අදාළ සියලු පාර්ශ්වයන් නියෝජනය වන පරිදි විද්වත් කමිටුවක් පත් කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය යන ආයතනවල පුනරාවර්තන වියදම් වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන ලබා ගැනීම
– කොවිඩ් – 19 වෛරසයේ ව්‍යාප්තියත් සමඟ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ආදායම අඩු වීම හේතුවෙන් එම ආයතනයන්හි වැටුප් හා අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට අපහසු වී ඇත. එබැවින්, 2020 වර්ෂයේ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා වන මාස 04ක කාලය සඳහා එකී ආයතනයන්හි අත්‍යවශ්‍ය පුනරාවර්තන වියදම් සඳහා වන ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ලබාගැනීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
තවද, එම ආයතනයන්හි ආදායම් වර්ධනය සඳහා උපායමාර්ගික සැලසුම් සකස් කර මහා භාණ්ඩාගාරයේ එකඟතාව ලබාගෙන එකී සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවට ද අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත පිහිටුවීම සඳහා ඉඩම් කොටස් වෙන්කර දීම
– ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් කර්මාන්ත අමාත්‍යාංශය විසින් ‘ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන’ ක්‍රියාත්මක කරනු ලබයි. අදාළ ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටු විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ පදනම් කරගෙන එම වැඩසටහන යටතේ රත්මලාන, කළුතර, මිල්ලෑව, නාලන්ද, උලපනේ, මාකඳුර, ඌව පරණගම සහ මඩකලපුව යන කර්මාන්තපුරවල කර්මාන්ත ආරම්භ කිරීම පිණිස ආයෝජකයින් 09 දෙනෙකු වෙත වසර 35ක කාලයක් සඳහා බදු පදනම මත ඉඩම් කොටස් වෙන් කර දීම පිණිස කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකාවේ ස්වභාවික වායු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
– ශ්‍රී ලංකාවේ ස්වභාවික වායු පිළිබඳව කෙටුම්පත් ජාතික ප්‍රතිපත්තිය පරීක්ෂා කර බලා අවශ්‍ය සංශෝධනයන් ඉදිරිපත් කිරීම පිණිස විද්වත් කමිටුවක් පත් කිරීමට 2020 පෙබරවාරි 12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී. ඒ අනුව, එම කාර්යය සඳහා පත් කරන ලද සාමාජිකයින් 17 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුව විසින් සකස් කරනු ලැබ ඇති සංශෝධිත ‘ස්වභාවික වායු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’ බලශක්ති අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.
පුත්තලම ගල් අඟුරු බලාගාරය සඳහා ක්ෂණික මිල දී ගැනීම් යටතේ අවශ්‍ය ගල් අඟුරු මිල දී ගැනීම
– පුත්තලම ගල් අඟුරු බලාගාරය සඳහා ක්ෂණික මිල දී ගැනීම් යටතේ ගල් අඟුරු මෙට්‍රික් ටොන් 300,000ක් සපයා ගැනීම සඳහා වූ ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s Swiss Singapore Overseas Enterprises Pte. Ltd, වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 16.18ක මුදලකට පිරිනැමීම සම්බන්ධයෙන් ආවරණ අනුමැතිය ලබා ගැනීම පිණිස විදුලිබල අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කොළොන්නාව සංකීර්ණයේ ඉන්ධන ගබඩා ටැංකි තුනක් ප්‍රසම්පාදනය කිරීම, ඉදිකිරීම හා ක්‍රියාත්මක කිරීම
– කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය සඳහා ඉන්ධන ගබඩා ටැංකි තුනක් ප්‍රසම්පාදනය කිරීම, ඉදිකිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි Indo-East Engineering and Construction (Lanka) Pvt. Ltd, වෙත රුපියල් මිලියන 942.47ක (VAT බදු හැර) මුදලකට ප්රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
රජයේ ආයතන සතු ධාවන තත්ත්වයේ නොපවතින වාහන අලුත්වැඩියා කර භාවිතයට ගැනීම සහ අපහරණය කිරීම
– නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් දැනට භාවිතයට නොගන්නා වාහන විශාල සංඛ්‍යාවක් රාජ්‍ය ආයතනවල පවතින බව නිරීක්ණය වී ඇති අතර, 2020 අගෝස්තු 31 දින වන විට අලුත්වැඩියා කර භාවිතයට ගත හැකි වාහන 4,116ක් සහ අපහරණය කිරීමට සුදුසු වාහන 5,588ක් පවතින බව ද හඳුනාගෙන ඇත. ඒ අනුව, අලුත්වැඩියා කර භාවිත කිරීම ඵලදායී වන වාහන අලුත්වැඩියා කිරීම සඳහා අදාළ ආයතනයන්ට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති අවස්ථාවන්හි දී ජාතික අයවැය දෙපාර්තමේන්තුව මඟින් ඒ සඳහා වන ප්‍රතිපාදන සලසා දීමටත්, එලෙස අලුත්වැඩියා කරනු ලබන වාහන, ප්‍රමාණවත් වාහන නොමැති රාජ්‍ය ආයතන වෙත මුදල් අමාත්‍යාංශය යටතේ ඇති කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලය හරහා විධිමත් පරිදි ලබා දීමටත්, අලුත්වැඩියා කළ නොහැකි වාහන විධිමත් ක්‍රමවේදය අනුගමනය කරමින් අපහරණය කිරීමටත් මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
The post අමාත්‍ය මණ්ඩල තීරණ appeared first on ITN News.
Post a Comment