මෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සැකසුන බවට තමන් ඊයේ දිනය වන තෙක් දැන සිටියේ නැති බව වසර තුනකට වැඩි කාලයක් පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර මහතා පවසනවා. පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසන් සභාවේදී මේ බව හෙළි කෙරුණා.
කොමිසම දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම්වලදී පූජිත් ජයසුන්දර මහතා පැවසුවේ ජාතික ආරක්ෂාවට ඇති තර්ජන මාසිකව ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය නමින් ආයතනයක් පවතින බවද තමා මෙතෙක් දැන සිටියේ නැති බවයි. ඒ මහතා මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට අද පැමිණියේ හත්වන දිනටයි.
කොමිසමේ සභාපති විනිසුරු – “ ඔබට පොලිස්පති ලෙසට තොරතුරක් එනවා. ජනාධිපතිවරයා ඝාතන සැලැස්මක් පිළිබඳව. එවැනි අවස්ථාවක සිදුකරන්නේ කුමක්ද?“
පූජිත් – ඒ බුද්ධි තොරතුර මොන තත්ත්වයක තිබුණත්, පිළිගත්තත් නැතත්, ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනවා.
කොමිසමේ සභාපති විනිසුරු – ජනාධිපතිවරයාට බැහැනෙ තනියම ආරක්ෂාව සලසගන්න. ඔබ තොරතුර දුන්නට පස්සේ මොකද කරන්නේ? මේ තොරතුරු දිනයක් නෑ, වෙලාවක් නෑ, මොකද කරන්නේ.
පූජිත් – ස්වාමීණී, මම ඉහළම ප්රමුඛත්වයක් දීලා විස්තර හොයනවා. තොරතුරු දුන්න පාර්ශ්වය කැඳවලා සාකච්ඡා කරලා අවශ්‍ය පියවර ගන්නවා.
කොමිසමේ සභාපති විනිසුරු – “ එතකොට ජාතික බුද්ධි සේවය දුන් තොරතුර අනුව බුද්ධි ප්‍රධානියා ඔබට ඉදිරිපත් කර තිබූ පල්ලිවලට ප්‍රහාරයක් එල්ලවනවා.“ කියන කාරණය දුටුවහම බැතිමතුන් බේරගන්න අදහසක් ආවේ නැද්ද.
පූජිත් – අදහසක් ආවා ස්වාමීණී,
කොමිසමේ සභාපති විනිසුරු – ඇයි එහෙමනම් මේකෙදි වෙනස් විදියට සැලකුවේ
පූජිත් – මේ ගැන මට කරන්න පුළුවන් උපරිම දේ මම කළා. මේ ආපු බුද්ධි තොරතුර ප්‍රසිද්ධ කලානම්, පොලිස්පති ඇයි එහෙම කළේ කියන්න පුළුවන්කමක් තිබුණා. අනික ස්වාමීනී, රාජ්‍ය බුද්ධි සේවය දුන් ලිපිය අනුව මෙරට කතෝලික පල්ලි හා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිශ්චිත ඉලක්ක වී තිබුණා. නමුත්…
කොමිසමේ සභාපති විනිසුරු – ඔබ හැමතිස්සේම නමුත් කියලා නවත්තනවා. ඉන්පස්සෙ ටික නොසලකා හරිනවද?
පූජිත් – නෑ ස්වාමීනී, නොසලකා හැරියේ නෑ..
කොමිසමේ සභාපති විනිසුරු – ඔබ ඒ වෙලාවේ නොසලකා හැරියද දන්නෑ, ඒකයි ඇහුවේ.
පූජිත් – අනේ නෑ ස්වාමීනී, නමුත් කියලා ඊට පස්සේ තියෙනවා සහරාන් අන්‍ය ආගමිකයන් මරා දැමිය යුතු බවට සිය අනුගාමිකයින් අභිප්‍රේරණය කරමින් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ අදහස් පතුරුවා හැර ඇත කියලා.
කොමිසමේ සභාපති විනිසුරු – දැන් ඔබ කියන්නේ ඕක තහවුරු නොකළ තොරතුරක් කියලද?
පූජිත් – අදාළ බුද්ධි තොරතුරේ තියනවනම් තමයි ස්වාමීනී, පුද්ගලයින් ගැන විස්තර. ඒත් එතන තිබෙන නම් 6න් තුනක් පිළිබඳව තමයි රාජ්‍ය බුද්ධි සේවය තහවුරුකරගෙන තිබුණේ ස්වාමීණී,
කොමිසමේ සභාපති විනිසුරු – ඒක තමයි මමත් කියන්නේ. තොරතුර නිශ්චිත කරලනේ.
පූජිත් – ඒ උනාට ස්වාමීනී, ඒ බුද්ධි තොරතුරේ නිශ්චිත වෙලාවක් ගැන සඳහනක් නැහැනේ.
කොමිසමේ සභාපති විනිසුරු – වසර ගණනාවක අත්දැකීම් තිබෙන ඔබට මේ තොරතුර ලැබෙද්දී ඔබ පොලිස්පති.
පූජිත් – “පූජිත් විවෘත පරික්ෂණ කරන්න එපා. එස්.අයි.එස්. එක පරික්ෂණ කලාම ඇති. “ කියලා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දීලා තිබුණා. එතකොට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ පරික්ෂණවලට මොකද වුණේ.
කොමිසමේ සභාපති විනිසුරු – ඔබ දැන සිටියාද ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය කියලා එකක් තිබුණු බව.
පූජිත් – දැන හිටියේ නෑ ස්වාමීණී,
ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු – ඒ ආයතනය හරහා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති තර්ජන මාසික වාර්තාවක් ලෙස දැනුම් දෙන බව ඔබ දැන සිටියේද?
පූජිත් – දැන සිටියේ නැහැ ස්වාමීණී,
ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු – ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සැකසුනා කියලා දන්නවද?
පූජිත් – සත්‍ය වශයෙන්ම දැන සිටියේ නැහැ ස්වාමීණී, මේ කොමිසමේ එවැනි සාක්ෂියක් ඊයේ පැවැත්වුණා. ඊයේ වෙනකල් මම ඒ ගැන දැන සිටියේ නැහැ.
The post අවුරුදු 03ක් යනකල්ම පූජිත් නොදැන සිටි ආරක්ෂාවේ ජාතික ප්‍රතිපත්තිය appeared first on ITN News.
Post a Comment