Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මේකට මම වග කියන්න ඕනෙ නම්, නිලන්ත ඊට වඩා තුන්ගුණයකින් වග කියන්න ඕන – හිටපු ආරක්ෂක ලේකම්  

Add comments

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විදෙස් බුද්ධි අංශ කළ පූර්ව අනතුරු ඇගවීම පිළිබද එවකට ජනාධිපතිවරයා දැනුවත් කිරීමට තමන්ට වගකීමක් තිබූ බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසනවා.

එසේ දැනුවත් නොකිරීම පිළිබද දැන් කණගාටු වන බවයි පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඒ මහතා කියා සිටියේ.

කොමිසම හමුවේ ඒ මහතා ඊයේ සාක්ෂි දුන්නේ හත්වන දිනටයි. ජනාධිපති කොමිසම හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසුවේ පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණු පූර්ව අනතුරු ඇඟවීමේ තොරතුර සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යවරයා වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගත්තේ ද යන්නයි.

හේමසිරි – මම ආරක්‍ෂක ලේකම් ධුරය භාරගත්තට පස්සේ ජනාධිපතිතුමාව හම්බවෙන්න ගියා. ඒ වෙනකොට මට රාජ්‍ය බුද්ධි සේවයෙන් පළවෙනි වරට බුද්ධි තොරතුරක් ලැබුණා. මම ඒ ගැන ජනාධිපතිවරයට කිව්වා. එතකොට ජනාධිපතිතුමා කිව්වා ඕක ගැන නිලන්ත මට කිව්වා කියලා. තවත් දවසකත් ඒ වගේ සිද්ධියක් වුණා- මං මේ ගැන නිලන්තගෙන් ඇහුවා මොකද්ද මේ ක්‍රමවේදය කියලා. එතකොට ඔහු කිව්වා මම සාමාන්‍යයෙන් හැම තොරතුරම ජනාධිපතිතුමාට කියනවා. ඉතිං ස්වාමීනී මේ ප්‍රහාරය ගැන ලැබුණු තොරතුරත් නිලන්ත ජනාධිපතිවරයට කියන්න ඇති කියලයි මම හිතුවේ. මේ ප්‍රහාරයට පසු ආරක්‍ෂක ලේකම් ධුරයෙන් අස්වෙන බව දන්වන්න ජනාධිපති හම්බවෙන්න ගිය වෙලාවෙත් මම මෛත්‍රීපාල මහත්තයගෙන් ඇහුවා සර් නිලන්ත හැම තොරතුරක්ම කියන එකේ මේ තොරතුර දැනුම් දුන්නේ නැද්ද කියලා. එතකොට ජනාධිපතිතුමා පත්තරේ බල බල හිටියේ. මම අහපු දේට කිසිම උත්තරයක් නොදී පත්තරෙ කියවගෙන ගියා.

සභාපති විනිසුරු – ඔබට අප්‍රේල් 20 වෙනිදා නිලන්ත තොරතුරක් දුන්න අවස්ථාවේ ඒ පිළිබඳ ජනාධිපතිවරයව දැනුවත් කළේදැයි නිලන්තගෙන් විමසුවේ නැද්ද?

හේමසිරි – මම අහන්න ගියෙ නැහැ ස්වාමීනී. මම හිතන් හිටියේ එයා ඒක දැනුම් දෙන්න ඇති කියලා. නැත්නම් නිලන්තට තිබුණා ඒ වෙලාවේ මට කියන්න ජනාධිපතිටත් කියන්න කියලා.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ජනාධිපතිවරයා දැනුවත් කිරීම ඔබේ වගකීම නේද?

හේමසිරි – ඔව් මගෙ වගකීම තමයි. ඒත් ඒ වෙද්දී මාත් එක්ක තිබ්බ විරසකය නිසා කියන්න ගියේ නැහැ.

සභාපති විනිසුරු – ඔබ අවස්ථා ගණනාවකදී කිව්වා ඔය විරසකය ගැන. නමුත් සිංහල අවුරුද්දට ජනාධිපතිවරයට සුබ පතන්න ඔබ දියතලාවෙ ඉඳන් ආව නේද? එතනදි ඔබව පැන්නුවෙ නෑනෙ. බුලත් දීල තරහ මරහ නැතිකර ගන්න එක සිරිතනෙ. එතනදිවත් මේ විදෙස් තොරතුර ගැන කිව්වෙ නැද්ද?

හේමසිරි – මාව පැන්නුවෙ නම් නැහැ. ඒත් ඒ අවස්ථාවේ මම කිව්වෙත් නැහැ. දැන් නිලන්ත ජයවර්ධන හැම තැනකම කියල තිබුණේ මේක ලෙඩක් කියලා. මට කිව්වනම් ඕක ලෙඩක් කියලා මම එන්න කියල අහනවානේ ලෙඬේට මොකද කරන්නෙ කියලා. මම කියන්නේ මේකට මම වග කියන්න ඕනෙ නම් නිලන්ත ඊට වඩා තුන්ගුණයකින් වග කියන්න ඕන ජනාධිපතිවරයාව දැනුවත් නොකිරීම ගැන.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – ඔබත් වගකිව යුතු බව ඔබ පිළිගන්නවද?

හේමසිරි – ඔව් මාත් ටිකක් විතර වග කියන්න ඕන. ඒක මගෙන් වුණ අඩුපාඩුවක්. ජනාධිපතිතුමාට කියන්න බැරිවුණ එක. මම ඒ ගැන කණගාටුවෙනවා. අපි මේකෙදි සාමූහිකව වග කියන්න ඕන.

සභාපති විනිසුරු – අප්‍රේල් 21 වනදා රටේ ඇඳිරිනීතිය දැම්මා නම් කවුරුහරි මැරෙනවද?

හේමසිරි – මට ඇඳිරිනීතිය දාන්න බැහැ ස්වාමීනී. ඒත් ජනාධිපති උපදෙස් දුන්න නම් පුළුවන්. මෙච්චර වැදගත් කියලා ඒ අයට තේරුණා නම් ඇයි පොලිස්පති, රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ, ජාතික බුද්ධි ප්‍රධානී ඇවිත් මාව හමු නොවුනේ. මේවගේ තොරතුරක් අය්එි්චච එකේ එවල හරියනවද?

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – ඔවුන් අතින් අඩුපාඩුවක් වෙලා තිබුණත් ප්‍රධානිය විදිහට ඔබට ගන්න පුළුවන් පියවර ගණනාවක් තිබුණ නේද?

හේමසිරි – ඔව් දරුවො වැරදි කළාම වැඩිහිටියො ඒව හදන්න ඕනෙ. නමුත් රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන ඉතා ළඟින්ම ඇසුරු කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නිසා නිලන්තව මට අධීක්‍ෂණය කරන්න හැකියාවක් තිබුණේ නැහැ. මට ඒකට අවස්ථාවක් තිබ්බෙත් නැහැ.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – ජනාධිපතිවරයා තොරතුරු ලැබෙද්දිත් ප්‍රහාරය එල්ලවෙද්දිත් රටේ හිටියෙ නැහැනෙ. තාත්ත ගෙදර නැතිවුණාම අම්මව හරි දැනුවත් කළ යුතුයි නේද? ඇයි අගමැතිතුමාට නොකිව්වේ?

හේමසිරි – ඒක මෙතන කරන්න බැහැ ස්වාමීනී. ඇතිවෙලා තිබුණු ව්‍යවස්ථා අර්බුදය නිසා අපිට කොයි අවස්ථාවකවත් අගමැති හමුවෙන්න හැකියාවක් තිබුණෙ නැහැ.
රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – දේශපාලනය කරන්නත් රටක් ඕන නේද හේමසිරි මහත්තය.

හේමසිරි – වැඬේ කියන්නේ ඒක මට තේරුණාට දේශපාලනඥයින්ට තේරෙන්නෙ නැහැනෙ. යනුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ පිළිතුරු ලබාදුන්නා.

The post මේකට මම වග කියන්න ඕනෙ නම්, නිලන්ත ඊට වඩා තුන්ගුණයකින් වග කියන්න ඕන – හිටපු ආරක්ෂක ලේකම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG