අද උදෑසන සිදු කළ හමුදා මෙහෙයුමකින් පසු නොබෙල් ත්‍යාග ලාභී 75 වියැති අවුන් සාන් සූ චී මියන්මාර ජනාධිපති වින් මින්ට් ඇතුලු තවත් දේශපාලන නායකයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හමුදාව කටයුතු කර තිබෙනවා.
රටේ පාලකයා ලෙස හමුදාපති ජෙනරාල් මින් අවුන් මේ වන විට කටයුතු කරන බවයි හමුදාව සදහන් කරන්නේ. උසස් අධ්‍යාපනය ලැබීමෙන් පසු 1988 වසරේදී මියන්මාරයට පැමිණි අවුන් සාන් සූ චී ඉන් අනතුරුව ක්‍රියාකාරි දේශපාලනයට සම්බන්ධ වනවා. 1989 වසරේ ජූලි මස 20 වනදා සිට 2010 වසරේ නොවැම්බර් 20 වනදා දක්වා වසර 21 ක කාලය තුළ ඇය කිහිප වරක්ම නිවාස අඩස්සියට පත්වනවා. මියන්මාර හමුදා පාලනය යටතේ සූ චී වසර 15 ක කාලයක් නිවාස අඩස්සියේ සිට ඇති බවයි විශ්ලේෂකයන් පවසන්නේ. ලොව වැඩිම අවධානයක් යොමු වූ දේශපාලන සිරකරුවා ලෙස ද ඇය හැදින්වෙනවා.
1990 වසරේ පැවති මැතිවරණයෙන් ඇයගේ ප්රජාතන්ත්රවාදී ජාතික ලීගය සියයට 81 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය කළත් එම ප්‍රතිඵල හමුදාව විසින් අහෝසි කරනු ලබනවා. අනතුරුව 2010 වසරේ පැවති මැතිවරණය ජාතික ලීගය වර්ජනය කරන අතර 2012 වසරේ පැවති මැතිවරණයෙන් ආසන 42 ක් හිමිකර ගැනීමට ඔවුන් සමත්වනවා.
වසර 50 ක හමුදා පාලනයකින් පසුව 2011 වසරේදී මියන්මාරය ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එකවීමෙන් පසු 2015 වසරේ පැවති මහ මැතිවරණයෙන් ජාතික ලීගය විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්නේ සියයට 86 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්. කෙසේ වුව ද අවුන් සාන් සූ චී විදේශිකයෙකු හා විවාහ වීම හේතුවෙන් එරට ව්‍යවස්ථාව අනුව ඇයට ජනාධිපති ධුරය හෙබවීමට වරම් අහිමිවනවා.
මියන්මාරයේ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවෙන් සියයට 25 ක ප්‍රතිශතයක් හමුදාවට අයත් වීම හේතුවෙන් කිසිදු විටෙක එරට පූර්ණ ප්රජාතන්ත්රවාදයක් ක්‍රියාත්මක වන්නේ නැහැ. 2016 වසරේ සිට මේ දක්වා සූ චී රජයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ අතර එය අග්‍රාමාත්‍ය තනතුරට සමාන තනතුරක් ලෙසයි සැලකෙන්නේ.
පසුගිය නොවැම්බර් මාසයේදී පැවති මහ මැතිවරණයෙන් අවුන් සාන් සූ චීගේ ජාතික ලීගයට නැවත වරක් බහුතර බලයක් හිමිවුණා. ඔවුන්ගේ දෙවන පාලන කාලය අද සිට ක්‍රියාත්මක වීමට තිබියදීයි මැතිවරණය දූෂිත බව ප්‍රකාශ කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට හමුදාව කටයුතු කළේ. අද උදැසන තුනේ පමණ සිට එරට අන්තර්ජාල සබදතා සියයට 75 ක් පමණ බිද දැමීමට හමුදා පාලනය කටයුතු කර තිබෙනවා.
දුරකථන පහසුකම් හා රජයේ රූපවාහිනී නාලිකා මෙන්ම සියලු බැංකු කටයුතු ද තාවකාලිකව අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. හමුදා කුමන්ත්‍රණයක් මගින් රට නැවත වරක් හමුදා පාලනයට නතුවීමත් සමගම ජනතාව භාණ්ඩ මිලදී ගැනීම සදහා දිගු පෝලිම්වල රැදී සිටින ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා. ජගත් සංවිධානය, ඇමෙරිකාව, ජපානය, ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව ඇතුලු ලොව ප්‍රබල රාජ්‍යයන් රැසක් හමුදා කුමන්ත්‍රණය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැක ඇති අතර ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එක්වන ලෙස ඇමෙරිකාව මියන්මාරයට දන්වා තිබෙනවා.
The post මියන්මාරය යළිත් අවුලේ – අවුන්සාන් හමුදා භාරයේ appeared first on ITN News.
Post a Comment