Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අත්‍යවශ්‍ය සේවා ගැසට් නිවේදනයේ කාර්යභාරය පැහැදිළි කිරීමට තවත් ගැසට් නිවේදනයක්  

Add comments

ජනාධිපතිතුමා නිකුත් කළ අත්‍යවශ්‍ය සේවා හදිසි නීති රෙගුලාසි ගැසට් නිවේදනයට සමගාමීව එහි කාර්ය භාරය පැහැදිලි කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට  යම් අයෙකු බාධා කළහොත් එය දඩුවම් ලැබිය හැකි වරදක් වනවා.

වී,සහල්,සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සැඟවීම,බෙදාහැරීම අඩපණ කිරීම,අධික මිළ ගණන් අය කිරීම හා පාරිභෝගිකයා අපහසුතාවට පත් කරන වෙළඳපල අක්‍රමකතා වැලැක්වීම මෙම හදිසි නීති පැනවීමේ මූලික අරමුණයි. ඒ අනුව සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය වන වී සහල් සීනි ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය එක්රැස් කිරීම, ගබඩා කිරීම, පිරිපහදුව, ප්‍රවාහනය හා බෙදාහැරීම හෝ එම කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය වන සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස සළකනු ලබනවා.

හදිසි නීති රෙගුලාසි පැනවීමත් සමගම අදාළ සේවාවල නිරතවන්නෙකු සේවා ස්ථානයට නොපැමිණ සිටීම, වැඩකරන දිනවලදී හෝ නිවාඩු දිනවලදී පවරන රාජකාරී පැහැර හැරීම සේවය හැරගියා සේ සැලකීමට හේතුවක් වනවා. එමෙන්ම අත්‍යවශ්‍ය සේවාවල නිරතවන්නන් සිය රාජකාරිය පැහැරහැරියේ වැඩවර්ජනයකට හෝ වෙනත් සංවිධානාත්මක ක්‍රියාකාරකමකට අනුබලදීමට නම් එය ද අදාළ සේවකයා සේවය හැරගියා සේ සැළකීමට මෙන්ම ඊට අතිරේකව වරදකරුවෙකු වීමක් ලෙස ද සැළකෙනවා.

යම් සේවයක් අත්‍යවශ්‍ය සේවයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබූ අවස්ථාවක යම් තැනැත්තෙකු එම සේවය පවත්වාගෙන යාමට බාධා කළහොත් හෝ සේවකයින්ට සේවා ස්ථානයට පැමිණීමට බාධා කළහොත් හෝ නොපැමිණ සිටීමට අනුබලදීමක් සිදුවුවහොත් සහ සේවකයින්ට සේවා ස්ථානයෙන් ඉවත්වීමට දිරිගැන්වුවොත් එම තැනැත්තාද යම් වරදකට වරදකරුවකු වනවා. මේ අතර යම් වරදක් සිදුවී ඇතැයි නියෝගයක් සිදු කර ඇති පරිශ්‍රයක තිබෙන වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සන්තකයට ගෙන එහි සිටින පුද්ගලයින් එම පරිශ්‍රයෙන් ඉවත් කිරීමට හා එම  පරිශ්‍රයට කිසිවෙකුට ඇතුළ්වීමට  ඉඩ නොදී ආරක්ෂා කිරීමට ද මෙම  ගැසට් නිවේදනය මගින් බලය පවරා තිබෙනවා.

එම පරිශ්‍රය මුදා හරින්නේ එම පරිශ්‍රයේ  හිමිකරුවෙකුගේ ඉල්ලීමකට අනුව අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළහොත් පමණයි. එමෙන්ම    අත්‍යවශ්‍ය සේවා පවත්වාගනෙ යාම සදහා වී,සහල්,සීනි ඇතුළු ද්‍රව්‍ය හා ඒවා ප්‍රවාහනය කරන වාහන අධිග්‍රහණයට ගැනීමට අවශ්‍ය යැයි  නිසි බලධාරියෙකු අදහස් කරන්නේ නම් ඒ සදහා ද බලය හිමිවනවා.

මෙලෙස හදිසි නීති රෙගුලාසි පැනවීමත් සමග අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම  සදහා ආධාර වශයෙන් හෝ පුද්ගලික සේවාවක් ලබාදීමට යම් තැනැත්තෙකුට නියම කිරීමට ජනාධිපතිවරයාට බලය පවතිනවා. ඒ අනුව යම් තැනැත්තෙක් පවර ලද රාජකාරීන් පැහැරහරින්නේ නම් මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ නඩු විභාගයකින් පසු ඔහු වරදකරු වුවහොත් යම් දණ්ඩනයකට  යටත් කළ හැකියි. ඊට අමතරව එම වරද හේතුකොටගෙන එම තැනැත්තාගේ චංචල හෝ නිශ්චල දේපල රාජසන්තක වූ ලෙසද සළකනු ලබනවා.

 

The post අත්‍යවශ්‍ය සේවා ගැසට් නිවේදනයේ කාර්යභාරය පැහැදිළි කිරීමට තවත් ගැසට් නිවේදනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG