2022 යල කන්නය සඳහා රජය විසින් ඉන්දීය ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙරටට ගෙන්වන ලද යුරියා පොහොර බෙදාහැරීම් කටයුතු මේ වනවිට සාර්ථකව අවසන් ව තිබේ.
රසායනික පොහොර හිඟයත්, ඇතැම් කාබනික පොහොර සම්බන්ධව ගොවි ජනතාව තුළ පැවැති අවිස්වාශයත් නිසා මෙවර යල කන්නය ආරම්භ වී මාසයක් පමණ කාලයක් ගත වෙන තෙක් වී වගා කර තිබුනේ හෙක්ටෙයාර් 248,000ක් වැනි ප්රමාණයකි. එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ඇස්තමේන්තු කර තිබුනේ හෙක්ටෙයාර් 275,000ක් වැනි කුඹුරු ඉඩම් ප්‍රමාණයක් වගා කිරීම සඳහාය.
මෙවැනි පසුබිමක් මත රටේ වී නිෂ්පාදනය පහත ගොස් දැඩි ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවෙතැයි යන බිය මත ආරම්භ වී තිබු යල කන්නයේ වී වගාව යුරියා පොහොර ලබා දීමට රජය විසින් ගත් තීරණාත්මක පියවර නිසා ගොවීන් තුළ මහත් උනන්දුවක් ඇති විය.
ඒ අනුව පසුගිය සිකුරාදා වන විට යල කන්නයේ මෙරට වගා කරන ලද සමස්ත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 512,000 දක්වා ඉහළ ගියේය. මහවැලි හා මහා වාරිමාර්ග යටතේ පැවැති කුඹුරු ප්‍රමාණය 100%කින්ම යල කන්නයේ දී වගා කරන ලද බව පසුගිය සතියේ පැවැති මහ කන්නයේ වගා කටයුතු සඳහා වන සාකච්ඡාවක දී වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මහවැලි අධිකාරිය සඳහන් කළේය.
යල කන්නයේ යුරියා පොහොර බෙදාහැරීම සම්බන්ධව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පසුගිය සතියේ පැවැතිවිනි.
එහිදී හෙළිදරව් වු කරුණු අනුව යල කන්නයේ වී වගාව සඳහා යුරියා පොහොර බෙදාහැරීමේ කටයුතු 2022.08.18 දින වනවිට මුළුමනින්ම සාර්ථකව අවසන් වී තිබේ.
ඒ අනුව හෙක්ටෙයාර් 304,734ක් වගා කර තිබු ගොවීන් 490,515කට බෙදාහැර ඇති සමස්ත යුරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 29,740.73ක් බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කළේය.
මේ අනුව ඌව පළාතට මෙට්‍රික් ටොන් 2122ක්, බස්නාහිර පළාතට මෙට්‍රික් ටොන් 1041, මධ්‍යම පළාතට මෙට්‍රික් ටොන් 2138ක්, වයඹ පළාතට මෙට්‍රික් ටොන් 3767ක්, සබරගමුව පළාතට මෙට්‍රික් ටොන් 1128ක්, දකුණු පළාතට මෙට්‍රික් ටොන් 4728ක්, උතුරු පළාතට මෙට්‍රික් ටොන් 877ක්, නැගෙනහිර පළාතට මෙට්‍රික් ටොන් 3934ක් ද වශයෙන් බෙදාහැර තිබිනි.
යල කන්නයේ වැඩිම කුඹුරු ප්‍රමාණයක් උතුරු මැද පළාතේ වගා කර තිබුනි. ඒ අනුව එම පළාතට වැඩිම යුරියා පොහොර ප්‍රමාණය වශයෙන් මෙට්‍රික් ටොන් 9623ක් බෙදා හැර තිබේ.
යුරියා පොහොර බෙදාහැරීම ආරම්භ වනවිටත් දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්කවල අස්වනු නෙලීම ආරම්භ වී තිබිනි. එමෙන්ම තවත් දිස්ත්‍රික්ක ගණනාවක අස්වනු නෙලීමට ආසන්න මට්ටමක පැවැතිනි. එමනිසා එම කුඹුරුවලට යුරියා පොහොර අවශ්‍යතාවක් නොවිනි.
කෙසේ වුවද ඉන්දීය රජය විසින් යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් ලබා දී තිබුනි . ඉන් තවත් යුරියා පොහොර මෙට්‍රික් ටොන් 35,000ක් පමණ ඉතිරි වී තිබේ. එම පොහොර මහ කන්නයේ වගා කටයුතු සඳහා බෙදාහැරීම මේ වනවිටත් උතුරු පළාත හා නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයට ලබා දීම මගින් ආරම්භ කර ඇත. එමෙන්ම වී වගාවට අමතරව බඩඉරිඟු, අර්තාපල් හා තේ වගාවට ද යුරියා පොහොර ලබා දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
The post යල කන්නයේ වී වගාවට යුරියා පොහොර බෙදාදීම සාර්ථකව අවසන් appeared first on ITN News.
Post a Comment