ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහනායක අපවත් වී වදාළ අති පූජ්‍ය නාපාන පේමසිරි මහනාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසැල් ක්‍රීඩාංගනයේදී අද පස්වරුවේ සිදු කෙරුණා. උන්වහන්සේගේ ආදාහන කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව ඇතිව සිදු කෙරුණු අතර අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එක්වුණා.
1923 වසරේ ජනවාරි මස 20 වනදා මහනුවර නාපාන ග්‍රාමයේදී ටිකිරි බණ්ඩාර නමින් උපත ලැබූ උන්වහන්සේ 1933 වසරේ පැවිදි දිවියට ඇතුලත්ව 1943 වසරේ දී උපසම්පදාව ලැබුවා. අපවත් වනවිට මහනායකහිමියන් 98 හැවිරිදි වියේ පසුවුණා. තම උපන් ගමට ආසන්න මැණික්හින්න හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙන 1967 වසරේදී ආරම්භ කරමින් ගිහි පැවිදි විශාල පිරිසකට අධ්‍යාපනය ලබා දීමට උන් වහන්සේ කටයුතු කළා.
මහනුවර හුරීකඩුව ශ්‍රී විද්‍යා සාගර මහාපිරිවෙන වෙත පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාපාන පේමසිරි මහානායක හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වුවා. අල්පේච්ඡ නිරහංකාර ජීවිතයක් ගත කරමින් ශාසනයේ දියුණුව සදහා කැප වී කටයුතු කළ මහානායක හිමියන්ට උතුම් නිවන් සුව අත්වේවායි අගමැතිතුමා මෙහිදී ප්‍රාර්ථනා කර සිටියා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අභිනව මහනායක ධුරයට පත් වූ අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.
මේ අතර අපවත්වී වදාළ මහානායක හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වුණේ සෞඛ්‍ය ආරක්ෂිත උපදේශවලට මුල්තැන දෙමින් ගිහි පැවිදි බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන්.
මහනායක හිමියන්ගේ ශ්‍රී දේහය හුරීකඩුව විද්‍යා සාගර පිරිවනේ සිට ක්‍රීඩාංගනය වෙත ගෙන එනු ලැබුවේ රථ පෙලපාලියකින්. බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගනය වෙත පැමිණි ජනාධිපති ගෝඨාභ්ය රාජපක්ෂ මැතිතුමා මහානායක හිමියන්ගේ ශ්‍රී දේහයට එහිදී අවසන් ගෞරව දැක්වුවා.
ආදාහන පූජෝත්සවයේ ප්‍රධාන අනුශාසනාව අතිපූජ්‍ය මකුලෑවේ විමල මහනායකහිමියන් පැවැත්වුවා..
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු කතා නායක කරූ ජයසූරිය යන මහත්වරුන් මෙහිදී ශෝක ප්‍රකාශ සිදුකළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ශෝක ප්‍රකාශය ඉදිරිපත් කළේ ජන මාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතායි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද ආදාහන පූජෝත්සවය අමතා සිය ශෝකය පළ කළා.
දැයට සමයට මිනිපහණක් වූ අතිගෞරවාර්හ නාපාන පේමසිරි මහායථිවරයාණෙනි ඔබවහන්සේට අමා මහ නිවන්සුව.
The post ජීවිතයම ශාසනික මෙහෙවරට කැප කළ නාපාන මහ නා හිමිපාණන් නික්ම යයි appeared first on ITN News.
Post a Comment