Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අනතුරුදායක සහ නව වෛරස් ප්‍රභේද සමාජයට ඇතුළුවී ඇතිදැයි හදුනාගැනීමට දිගින් දිගටම පර්යේෂණ  

Add comments

අනතුරුදායක සහ නව වෛරස් ප්‍රභේද සමාජයට ඇතුළු වී ඇතිදැයි හදුනාගැනීම සදහා දිගින් දිගටම පර්යේෂණ සිදුකරන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ අද දින (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කොවිඩ් තත්ත්වය සහ ඉදිරි සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිබදව පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ඉන්දියානු වෛරස් ප්‍රභේදය මෙරටට ඇතුල්වී ඇතිදැයි සිදුකළ විමසීමට ප්‍රතිචාර දක්වමිනි.

ඉන්දියානු වෛරස ප්‍රභේදයෙහි අවදානමක්ද මෙරටට පවතින බවත් අප රටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි ඉන්දීය ජාතිකයෙකුගෙන් ඉන්දීය ප්‍රභේදය හදුනාගත් බවද, එම ප්‍රභේදය රට තුළ ව්‍යාප්ත වීමේ අවදානම ඇත්තේ ඉන්දියාවේ සිට සහ වෙනත් රට වල සිට පැමිණෙන්නන් හරහා බවද පැවසූ විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ විදෙස්ගතව පැමිණෙන්නන් සම්පූර්ණ නිරෝධායන ක්‍රියාවලියකට ලක්කරන බවත් විදෙස්ගතව පැමිණෙන සියලුදෙනා හට වෛරසය ඇතිදැයි සිදුකරන පරීක්ෂාවන්ට අමතරව වෛරස ප්‍රභේදය හදුනාගැනීම සදහා වන විශේෂිත පරීක්ෂණයකටද භාජනය කරන බවයි.

අවුරුදු සමයේ මෙරට සංචරණ වැඩි වීම හේතුවෙන් රටතුළ ආසාදිතයින් මිශ්‍රවීමක් සිදුවූ බවද, මේ වන විට මුළු රට පුරාම වයස් භේදයකින් තොරව වේගයෙන් රෝගීන් වාර්තා වන බවද මෙම වෛරස් ප්‍රභේදය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට කෙටි නිරාවරණයකින් කෙටි කාලයකින් වේගයෙන් ව්‍යාප්තව පැතිරෙන බවද වසංගත රෝග ඒකකයේ අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.

එමෙන්ම මෙම ප්‍රභේදයෙහි රෝග ලක්ෂණ සහිත ආසාදිතයින් බහුල බවද, රෝග ලක්ෂණ වශයෙන් උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, පපුවේ අමාරුව, හුස්ම ගැනීමේ අපහසුතා ආදිය හදුනාගත හැකි අතර සුළු ආසාදිතයින් පිරිසකට රෝග ලක්ෂණ නොපෙන්වන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ඇතැම් එන්නත් 60ට වැඩි වැඩිහිටි ජනගහණයට සුදුසුද යන්න පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානය පර්යේෂණ සිදුකරමින් අධ්‍යයනය කරමින් සිටින බවද, ස්පුට්නික් එන්නත ලබාදෙනුයේ වයස අවුරුදු 60ට අඩු පුද්ගලයින් සදහා වන අතර සයිනොෆාම් එන්නත 60ට වැඩි වැඩිහිටි ප්‍රජාවට සුදුසුද යන්න පිළිබදව තවමත් ප්‍රමාණවත් තොරතුරු නොමැති අතර ෆයිසර් එන්නත සදහා අනුමැතිය හිමිව ඇති අතර එය ඉදිරියේදී ගෙන්වීමට රජය බලාපොරොත්තු වන බවද, එය ලැබුණු පසු වැඩිහිටි ප්‍රජාවට ලබාදීමට බලාපොරොත්තු වන බවද වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේය.

The post අනතුරුදායක සහ නව වෛරස් ප්‍රභේද සමාජයට ඇතුළුවී ඇතිදැයි හදුනාගැනීමට දිගින් දිගටම පර්යේෂණ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG