Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලන්න දෙරටේ නායකයන්ගේ එකඟත්වයක්  

Add comments

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි වැඩපිළිවෙළ දී වඩා පුළුල් සහ නව සහයෝගිතාවකින් කටයුතු කිරීමට මාලදිවයින – ශ්‍රී ලංකා ජනාධිපතිවරු එකඟ වී තිබෙනවා.

දිවයිනට පැමිණ සිටින මාලදිවයන ජනාධිපති Ibrahim Mohamed Solih  සහ මෙරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර නිල හමුව අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී රාජ්‍ය නායකයන් අතර මේ පිළිබඳ සාකච්ඡා කෙරිණි.

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගෙනයන විශේෂ වැඩපිළිවෙළත්, ඒ පිළිබඳ එතුමාගේ කැපවීමත් මෙහිදී මාලදිවයින ජනාධිපතිතුමාගේ දැඩි පැසසුමට ලක් විය.

දීර්ඝ කාලීන මිත්‍ර රාජ්‍යයන් වන ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙන් ම වෙළෙඳ, සෞඛ්‍ය, ආරක්ෂක, අධ්‍යාපන සහ නාවුක ක්ෂේත්‍රවලට අදාළ ව දෙරට අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම් යාවත්කාලීන කිරීම සහ එම ක්ෂේත්‍රවලට අදාළ ව නව ගිවිසුම් ඇතිකර ගැනීම පිළිබඳව ද මෙහි දී නායකයන් සාකච්ඡා කළා.

එමෙන් ම දෙරට අතර ඒකාබද්ධ වෙළෙඳ අවස්ථා ඉහළ නංවා ගැනීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

ශ්‍රී ලාංකික ආයෝජකයන් රැසක් මාලදිවයිනේ සිය ව්‍යාපාර කටයුතුවල නිරතව සිටින අතර, ඔවුන්ට අවශ්‍ය පහසුකම් ඉහළ නැංවීම පිළිබඳව මෙන්ම මෙරට අධ්‍යාපන කටයුතුවල නිරතවන මාලදිවයින සිසුන්ගේ වීසා නිකුත් කිරීම ඇතුළු පහසුකම් ඉහළ නැංවීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණා.

එමෙන් ම දූපත් රාජ්‍යයන් සහ සාර්ක් රට ලෙස කලාපයේ රටවල අභිවෘද්ධිය වෙනුවෙන් එක් ව කටයුතු කිරීම පිළිබඳව ද නායකයෝ සාකච්ඡා කළහ.

අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණි මාලදිවයින ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඞ් සොලිහ් මැතිතුමා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

හමුදා උත්තමාචාර ද පිළිගන්වමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු විය.

රාජ්‍ය නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

71 වැනි ජාතික දින සැමරුම් උලෙළේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට මාලදිවයින ජනාධිපතිවරයා දිවයිනට පැමිණි අතර ඒ වෙනුවෙන් සිය ස්තූතිය පළ කිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කළේය.

මේ අතර මාලදිවයින ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඞ් සොලිහ් මැතිතුමා වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පිරිනමන ලද විශේෂ දිවා භෝජන සංග්‍රහය ද අද (05) දහවල් කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

ජනාධිපති මන්දිරය වෙත පැමිණි මාලදිවයින් ජනාධිපතිතුමා සහ එම මැතිණිය මෙරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණිය විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG