ජගත් සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වන සැසිවාරය අද ස්විස්ටර්ලන්තයේ ජිනීවා අගනුවරදී ආරම්භ වුණා. එය ලබන මස 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
සමුළුව අමතමින් විදේශ අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා සඳහන් කර සිටියේ බහු පාර්ශ්වවීය රජයක් පිහිටුවීම හරහා ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ගැටලු විසඳීම සඳහා දේශපාලනික පියවරක් ගෙන ඇති බවයි.ජගත් සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වන සැසිවාරය ජිනීවා නුවරදී ආරම්භ වුණේ මානව හිමිකම් මහකොමසාරිස් මිචෙල් බැචලේගේ ප්‍රධානත්වයෙන්. මාධ්‍යවේදියෙකුගේ ඝාතනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන ලෙස ඇය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියා. එමෙන්ම මානව හිමිකම් මහකොමසාරිස් ධුරයට නැවතවරක් පත්වීමට බලාපොරොත්තු නොවන බවයි කවුන්සිලය අමතමින් ඇය සදහන් කළේ. 50 වන සැසිවාරය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජීඑල්පීරිස් මහතා ප්‍රමුඛ දූත මණ්ඩලයක් සහභාගී වී සිටිනවා.
“අප ලබා ඇති ප්‍රගතිය හා අභියෝග සම්බන්ධයෙන් මෙම කවුන්සිලය සහ එක්සත් ජාතින්ගේ සංවිධානයේ අනෙකුත් ආයතන සමග නිරන්තරයෙන් විවෘත සංවාදයක යෙදෙනවා. එම විනිවිදභාවය, සෘජුභාවය හා විවෘතභාවය අඛණ්ඩව පවත්වාගෙන යමිනුයි මෙවරත් සැසිය අමතන්නේ. පසුගිය සති කිහිපය පුරා ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බැරෑරුම් සමාජ හා ආර්ථික තත්ත්වය පිළිබද ජාත්‍යන්තර ප්‍රජාව අවබෝධයෙනුයි සිටින්නේ. වසංගතය හා ගෝලීය අර්බුදය හමුවේ එම තත්ත්වය තවත් දරුණු අතට හැරී තිබෙනවා.ආර්ථික සහන සහ පරිපාලනමය ප්‍රතිසංස්කරණ ඉල්ලමිනුයි ශ්‍රී ලංකාව තුළ විරෝධතා පැවැත්වෙන්නේ. එම ගැටලු හදුනාගනිමින් සියල්ලන් සහභාගී කරගනිමින් ඉදිරියට යාමට අප කටයුතු කරමින් සිටිනවා.
පුළුල් පදනමකින් යුතු රජයක් හරහා ජාතික ගැටලු සදහා සම්මුතිවාදී ප්‍රවේශයක් ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලීමක් කළා. නව අග්‍රාමාත්‍යවරයකු පත් කිරීම හා බහු පක්ෂ අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමත් සමග දැනටමත් ප්‍රතිඵල දායක දේශපාලන වෙනස්කම් සිදුව තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය සම්බන්ධයෙන් සර්ව පාක්ෂික එකඟතාවයක් ඇති කර ගැනීම, මූලික ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් තහවුරු කිරීම, ස්වාධීන ආයතන සහ විධායකයේ බලතල පිළිබද තුලනය සම්බන්ධයෙන් මේ වන විට අප ක්‍රියාකාරී මැදිහත්වීමක් ලබාදී තිබෙනවා.
මැයි 09 වනදා සහ ඉන් අනතුරු සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මූලිකත්වයෙන් සහ අධිකරණයේ සෘජු අධීක්ෂණය යටතේ පූර්ණ විමර්ශනයක් සිදු කෙරෙනවා. නීතිය හා සාමය පවත්වාගෙන යාමට කෙටි කාලසීමාවකට ඇදිරි නීතිය සහ හදිසි නීතිය පැනවීමට සිදු වුව ද ඉන් අත්‍යවශ්‍ය සේවා සදහා බාධාවක් සිදු වූයේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළ කිහිප දෙනෙකු මිය යාම සහ රට පුරා දේපල හානි සිදු කිරීම අප දැඩි ලෙස හෙළා දකිනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවත් ස්වාධීන පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ආර්ථිකය ස්ථාවර කර ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුග්‍රහය දක්වන වැඩසටහනකට අවශ්‍ය පියවර සකස් කරමින් සිටිනවා. ඒ සදහා දේශීය හා ජාත්‍යන්තර හවුල්කරුවන් ඇතුළු සියලු පාර්ශ්ව සමග අප සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
49 වන සැසිවාරයේදී පොරොන්දු වූ පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධන එක් කොට එය සම්මත කිරීමට පියවර ගත්තා. එමගින් දැනට පවතින නීතියේ සැළකිය යුතු දියුණුවක් ලබා ඇති අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා මානව නිදහසට ඉන් ශක්තියක් ලැබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවාගෙන සිටි පුද්ගලයින් 22 දෙනෙකු උපදේශක මණ්ඩලයයේ නිර්දේශ මත මෙම වසරේ මාර්තු සිට ජුනි දක්වා කාලය තුළදී නිදහස් කොට තිබෙනවා.
තිරසාර සංවර්ධන ඉලක්ක සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සැළකිය යුතු ප්‍රගතියක් අත්කර ගැකීමට සමත්ව සිටිනවා. ඒ අනුව ශ්‍රේණිගත කිරීම් අතුරින් ස්ථාන 07 කින් ඉහළට පැමිණීමටත් අප සමත් වුණා. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ ක්‍රියාකාරකම් ද අඛණ්ඩව සිදු වනවා. ආර්ථික බාධාවන් මධ්‍යයේ වුවද වන්දි ගෙවීමේ කාර්යාලය හරහා මෙම වසර සදහා වෙන් කළ රුපියල් මිලියන 759 ට අමතරව තවත් රුපියල් මිලියන 53 ක් වෙන් කිරීමට පියවර ගත්තා. හමුදාව සතු වූ පෞද්ගලික ඉඩම්වලින් සියයට 92 කට වැඩි ප්‍රමාණයක් හිමිකරුවන් වෙත ලබාදී තිබෙනවා. නැවත පදිංචි කිරීම සදහා තවත් ඉතිරිව ඇත්තේ අභ්‍යන්තරව අවතැන් වූ 8090 දෙනෙකු පමණයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිචෝදනා කිහිපයක් මහාධිකරණය වෙත යවා ඇති අතර ඊට අදාළ නඩු විභාග සිදු වනවා. ඩයස්පෝරා ප්‍රජාව සහ සිවිල් සංවිධාන සමග සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව විවෘතයි.
අපගේ හා කවුන්සිලයේ අනෙකුත් සාමාජිකයන්ගේ අනුමැතියකින් තොරව සම්මත කරන ලද 46/1 යෝජනා හරහා ඊනියා බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණය ශ්‍රී ලංකාව මුල සිටම ප්‍රතික්ෂේප කළා. එම යාන්ත්‍රණය හරහා මෙම කවුන්සිලය ධ්‍රැවීකරණයට හා බෙදීමට ලක් වුණා. සාමාජිකයන්ගේ සම්පත් ඵලදායී නොවන ලෙස අපතේ යැවීමක් සිදුවන බව අපගේ විශ්වාසයයි.
ශ්‍රී ලංකාව මුහුණද සිටින අභියෝගාත්මක සමාජ හා ආර්ථික තත්ත්වයන් පිළිබද මෙම කවුන්සිලය අවබෝධ කරගනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. බහුවිධ කාර්යන්හි නිරතවීමට සහ නීත්‍යානුකූල කැපවීම්ලට ගරු කිරීමට අප එකග වනවා. අපගේ තරුණ පරපුරේ හඩ මෙම අභියෝගවලට නිහතමානීව මුහුණදිය යුතු බවට අපට මතක් කර දෙනවා. ජාත්‍යන්තර ප්‍රජාව ලබා දෙන තිරසාර සුහදත්වය සහ සහයෝගය තුළින් අප විශාල වශයෙන් ශක්තිමත්ව සිටින අතර එය අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරනවා.”
The post බහු පක්ෂ රජයක් පිහිටුවා ජනතා ගැටලුවලට විසඳුම් දෙන්න දේශපාලන පියවරක් ගත්තා – ඇමති ජී.එල් appeared first on ITN News.
Post a Comment