රටක දීර්ඝ කාලීන සංවර්ධනයට පදනම් වන්නේ නිවැරදි තීරණ මිස ජනප්‍රිය තීරණ නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අය වැය කතාව ඉදිරිපත් කරමින් සදහන් කළා.
මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව එකගතාවට පැමිණි ප්‍රතිසංස්කරණවලට සීමා නොවන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. එසේම ඔවුන් යෝජනා කළ ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රමුඛ වන්නේ ආර්ථික ස්ථාවරත්වය සදහා පමණක් බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.
මේ අතර සමෘද්ධි ඇතුළු සමාජ සුබසාධන දීමනා අඛණ්ඩව ලබාදීම මෙන්ම පාසල් දහසකට අන්තර්ජාල පහසුකම් ලබාදීමට ද අයවැය තුළින් යෝජනා කෙරුණා. සිය අය වැය කතාව තුළින් ජනාධිපතිවරයා තවදුරටත් අවධාරණය කළේ සියලු කාරක සභා කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බවයි. රාජ්‍ය වියදම් අඩු කරගැනීම සදහා ද මුදල් පිළිබද කාරක සභාවට ඵලදායී ලෙස මැදිහත් විය හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
පෞද්ගලික ව්‍යවසායකයන් දිරිමත් කරන අතර අලුත් ව්‍යවසායකයන් බිහිකිරීමට අවශ්‍ය පහසුකම් සපයන ඔවුන්ගේ කාර්යයන් වඩා ඵලදායි කරගත හැකි ප්‍රතිපත්තිමය පරිසරයක් සකස් කරන බවද ජනාධිපතිවරයා පැවසුවා.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන වසර සදහා වන අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා පැමිණි අවස්ථාවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් පිළිගනු ලැබුවා. මෙවර අයවැයට අනුව රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 7885ක්. එය පසුගිය වසර සදහා ඇස්තමේන්තු කළ රුපියල් බිලියන 6100ට වඩා රුපියල් බිලියන 1785ක වැඩිවීමක්. මෙවර අයවැයේ වැඩිම වැය ශීර්ෂය වෙන් කර ඇත්තේ සමාජ ආරක්ෂණය සදහායි. එම මුදල රුපියල් බිලියන 572ක්. පවුල් ලක්ෂ 68න් ලක්ෂ 40ක් ජීවත්වීම සදහා රජයෙන් ආධාර ඉල්ලා සිටින පසුබිමකයි මෙම මුදල ඇස්තමේන්තු කර තිබෙන්නේ. සෞඛ්‍ය සදහා රුපියල් බිලියන 432ක්, අධ්‍යාපනය සදහා රුපියල් බිලියන 504ක්, ආරක්ෂක වියදම ලෙස රුපියල් බිලියන 367ක් අයවැයෙන් ඇස්තමේන්තු කර තිබෙනවා.
අය වැය කතාව පැවැත්වෙන අද සිට දෙසැම්බර් 08වනදා දක්වා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. අයවැය කතාව නැරඹීමට විදෙස් තානාපතිවරුන්ට ද අරාධනා කර තිබුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව යෞවන් පාර්ලිමේන්තුවේ සාමාජිකයින්, යොවුන් සේනාංකයේ සාමාජිකයින් සහ බස්නාහිර පළාතේ පාසල්වල ශිෂ්‍ය නායක නායිකාවන් දෙසිය දෙනෙකු ඇතුලු පන්සිය දෙනෙකු ද අයවැය කතාව සිදු කෙරෙන අවස්ථාවට සහභාගී වුණා.
අය වැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් සදහන් කළේ විස්සයි විසිතුන අයවැය යෝජනා ඔස්සේ 21 වන සියවසේ නව ලෝකයට ගැලපෙන නව ආර්ථිකයක් ගොඩනැංවීමේ ක්‍රියාවලියක් ඇරඹෙන බවයි.
තරුණ තරුණියන්ගේ යහපත් හෙට දවස වෙනුවෙන් උද්ඝෝෂණ, වැඩවර්ජන, අරගල වැනි සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට ගිය අලුත් වැඩපිලිවෙලක් මගින් තරුණ තරුණියන්ගේ අපේක්ෂාවන්ට ගැලපෙන නව ආර්ථිකයක් නිර්මාණය කරගත යුතු බවද ජනාධිපතිවරයා පැවසුවා.
සමාජය හුරුපුරුදුව තිබෙන ජීවන රටා යළි පහළ මට්ටමකට නොවැටෙන ලෙස නව ගමන ආරම්භ කරන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. ඒක පුද්ගල ආදායමට සරිලන ජීවන ක්‍රමයක් වෙනුවට තරුණ තරුණියන් අපේක්ෂා කරන ජීවන ක්‍රමයට ගැලපෙන ආර්ථිකයක් බිහිකිරීම රජයේ අපේක්ෂාවයි. ලෝකයේ නව ප්‍රවණතාවන්ට ගැලපෙන ලෙස අලුත් ආර්ථික පදනමක් සකස් කර ගත යුත වනවා. දිළිදු හා අවධානමට ලක්ව ඇති කණ්ඩායම් රැක බලාගැනීමට පූර්ණ අවධානය යොමු කළ යුතු බවයි ජනාධිපතිවරයා පැවසුවේ. අපනයනය මූලික කරගත් තරගකාරී ආර්ථික ක්‍රමයක් අපේක්ෂාවයි.
පරිසර හිතකාමී හරිත සහ නීල ආර්ථිකයක් සහ ඩිජිටල් ආර්ථිකයක් කෙරෙහි නව ආර්ථික වැඩපිලිවෙලෙහි විශේෂ අවධානය යොමු කර තිබෙනවා.
සමාජ ආර්ථික පරිවර්ථනය සිදු කළ යුත්තේ ගෝලීය සංසිද්ධීන් සැලකිල්ලට ගනිමින් හා දේශගුණික විපර්යාස ගැන දැඩි අවධානයක් යොමු කරමින් බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ.ආර්ථික පරිවර්ථනය සදහා අවශ්‍ය නීති සංශෝධනය සහ නව පනත් නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා පැවසුවා.
සමාජ වෙළදපොල ආර්ථික ක්‍රමයක් ඔස්සේ සියයට 7ත් සියයට 8 ත් අතර ඉහළ ආර්ථික වර්ධනයක් සපුරාගැනීම අපේක්ෂාවයි.
ජාත්‍යන්තර වෙළදාම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට සියයකින් ඉහළ නැංවීමට පියවර ගන්නා බවයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ.
විස්සයි විසිතුන විස්සයි විසි දෙක දක්වා නව අපනයන මගින් ඩොලර් බිලියන 3 ක වාර්ෂික වර්ධනයක් අපේක්ෂා කෙරෙනවා. මීළග වසර 10 තුළ වාර්ෂිතව ඩොලර් බිලියන තුනක සෘජු විදේශ ආයෝජන ඉලක්ක සපුරාගැනීමට සැළසුමයි.
නව ආර්ථික කලාප බිහිකරන අතර ජාතික ඵලදායිතා කොමිෂන් සභාවක් පත් කිරීම ද අරමුණයි. ගෝලීය වෙළදපල ප්‍රවේශය වැඩි කෙරෙන අතර සැපයුම් සේවා ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහනක් ද හදුන්වාදීමට කටයුතු කෙරෙනවා.
නව කම්කරු ප්‍රතිපත්ති ගෙන එන අතර කෘෂි අපනයන සදහා ඉඩම් ලබාදීම පිණිස වන යෝජනා ද මෙවර ඇයවැයට ඇතුළත් වනවා.
දියර කිරි නිෂ්පාදනයට රුපියල් මිලියන 100 ක් වෙන් කෙරෙනවා.
රජයේ රෝහල්වල ගෙවීමේ වාට්ටු ක්‍රමය යළි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ත්‍රෛලෝක විජයපත්‍ර හෙවත් කංසා භෝගය අපනයනය සදහා නිෂ්පාදනය කිරීමේ හැකියාව සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට ද යෝජනා කෙරුණා.
රජයේ ඉඩම් බැහැර කිරීමට අදාළ මූලික කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් පමණක් සිදු කිරීමට අවශ්‍ය වැඩපිලිවෙලක් සකස් කිරීමට අපේක්ෂිතයි.
ඩිජිටල් තාක්ෂණ කර්මාන්තයේ ඉදිරි දියුණුව පිලිබද විමර්ශනය කර අමාත්‍ය මණ්ඩලයට වාර්තා කිරීම සදහා කමිටුවක් පත් කෙරෙනු ඇති.
ඛණිජ සම්පත් ජාතික සංවර්ධනයට දායක කර ගන්නා අතර කුරුදු කර්මාන්තය සදහා නව දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට ද යෝජනා කෙරුණා.
සමෘද්ධිය, සංචාරක ව්‍යාපාරය දියුණු කෙරෙන අතර පාසල්වල අන්තර්ජාල පහසුකම් සංවර්ධනය ද සිදු කෙරෙනවා. ග්‍රාමීය පාසල්වල පහසුකම් වැඩිදියුණු කෙරෙන අතර රාජ්‍ය විශ්වවිද්‍යාලවලට කුසලතා පදනම මත සිසුන් ඇතුළත් කර ගැනීම වැඩි කිරීම අපේක්ෂාවයි.
වෛද්‍යවරුන් සදහා පශ්චාත් උපාධි අධ්‍යයන අවස්ථා ඉහළ නැංවෙනවා. උසස්පෙල සමතුන්ට හා උපාධිධාරීන්ට විදේශ ශිෂ්‍යත්ව පුළුල් කෙරෙනවා. උසස්පෙල ඉහළින් සමත්වන සිසුන් 75 දෙනෙකුට ජනාධිපති මූළ්‍ය අරමුදලේ ප්‍රතිපාදන මත විදේශ ශිෂ්‍යත්ව ලබාදීම අපේක්ෂාවයි.
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට ද නව වෛද්‍ය පීඨයක් ස්ථාපනයට රුපියල් මිලියන 200 ක් වෙන් කෙරුණා. ඉතිහාසය හැදැරීම සදහාම වෙන් වුණු ආයතනයක් පිහිටුවීම රුපියල් මිලියන 500 ක් වෙන් කෙරුණා.
රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ද යෝජනා කෙරුණා.
බදුකරණය පිළිබද ජනාධිපති කොමිෂන් සභාවක් පත් කෙරෙන අතර විද්‍යුත් ක්‍රමවේදය මගින් ගෙවීම් සිදු කිරීම ප්‍රවර්ධනය ද අපේක්ෂාවක් දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීමද අය වැය යෝජනාවක්.
පෞද්ගලික අංශයේ සේවකයන්ට ද රක්ෂණාවරණයක් යෝජනා කෙරෙන අතර ආහාර සුරක්ෂිතතා පිළිබද මාර්ගගත විද්‍යුත් පද්ධතියක් සකස් කෙරෙන අතර මිරිදිය ධීවර කර්මාන්තය දියුණු කිරීම උදෙසා රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමටද කටයුතු කෙරුණා.
රාජ්‍ය ආදායම් වර්ධනය සදහා බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අපේක්ෂාවයි.බදු සංශෝධනය මෙන්ම බදු ගෙවන්නන්ගේ ගැටලු සදහා විසදුම් ඉදිරිපත් කිරීමට බදු ඔම්බුඩ්ස්මන්වරයෙකු පත්කිරීම ඇතුලු යෝජනා රැසක් ඊට ඇතුළත්.
විදේශ වෙළදාම හා ආයෝජන ප්‍රවර්ධණය සදහා පූරණ බලැති මධ්‍යගත ආයතනයක් පිහිටුවනවා. දැනට ක්‍රියාත්මක රාජ්‍ය ආයතන ඊට සම්බන්ධ කෙරෙනු ඇති. බස්නාහිර, වයඹ, හම්බන්තොට ත්‍රිකුණාමලය ඇතුළත් නව ආර්ථික කලාප රැසක් පිහිටුවනු අතර ඒ සදහා විශේෂ නීති රාමුවක් ද ගෙනඒමට නියමිතයි.
ගෝලීය වෙළදපල ප්‍රවේශය නැංවීම සදහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙනු ඇති. ආයෝජන හිතකර පරිසරයක් නිර්මාණය කෙරෙන අතර ශ්‍රමවෙළදපල සදහා නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කෙරෙනවා. යල් පැන ගිය කම්කරු නීති වෙනුවට ඒකබද්ධ නීතියක් ක්‍රියාත්මක කිරීම අපේක්ෂාවයි.
සන්නද්ධ හමුදා සාමාජිකයන් සදහා කලින් වීශ්‍රාම ගැන්වීමට අවස්ථාව ලබාදීම ද අය වැය යෝජනාවක්.
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය යටතේ ආයතන කිහිපයක් පළමුනේ ප්‍රතිව්‍යුගත කිරීමට නියමිතයි. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, වෝටර්ස් එඩ්ජ් හෝටලය, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම සහ පරිපාලන සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම පලමුව සිදු කෙරෙනු ඇති. එමගින් ලැබෙන ආදායම විදේශ විනිමය සංචිත වැඩි කිරීමටත් රුපියල ශක්තිමත් කිරීමටත් යොදා ගැනීම අපේක්ෂාවයි.ණය කළනාකරණය සදහා ද යෝජනා රැසක් ඉදිරිපත් කෙරුණා.
රජයේ නව සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් හදුනාගැනීමට හා විශ්ලේෂණය කිරීමට නව වැඩපිළිවෙලක් හදුන්වාදීමට ද නියමිතයි. අය වැය යෝජනා අධීක්ෂණය කිරීම සදහා කාර්ය සාධන බලකායක් පිහිටුවීමට ද ජනාධිපතිවරයා යෝජනා කළා. මෙම අයවැය යෝජනා ඔස්සේ රටේ ධනාත්මක වෙනසක් ඇති කරන ගමනට එක්වන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සියලු දෙනාගෙන් ඉල්ලීමක් ද කළා.
නව ආර්ථික පදනමක් ඔස්සේ රට යලි ඔසවා තැබීමේ වෑයමට ක්‍රියාකාරීව හා ක්‍රියාශීලීව දායකත්වය ලබා දෙන ලෙස ජනාධිපතිවරයා සියලු දෙනාගෙන් ඉල්ලීමක් කළා.
අය වැය දෙවන වර කියවීමේ විවාදය හෙට ආරම්භ වනවා. දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ 22 වනදා පස්වරු 5ටයි. අය වැය දෙවන වර කියවීමේ විවාදය පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි. 5.30 සිට 6 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න හෝ යෝජනා සදහා වෙන් කර තිබෙනවා. විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වන්නේ ලබන 23 වනදායි. එය දෙසැම්බර් 8 වනදා දක්වා පැවැත්වෙනවා. එම විවාදය පැවැත්වෙන සෑම දිනකම පස්වරු 7 දක්වා විවාදය පැවැත්වීමට නියමිතයි. ඡන්ද විමසීම දෙසැම්බර් 8 වනදා පස්වරු 7 ට සිදු කෙරෙනවා. ඉරිදා දින හා පෝය දැන හැර සතියේ සෑම දිනයන්හිම අය වැය විවාදය සදහා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. විවාදය පැවැත්වෙන දිනවලදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීම සදහා කාලය වෙන් කර නැහැ.
The post නව ලොවට ගැලපෙන ආර්ථිකයක් ගොඩනංවන ජනපතිගේ මංගල අයවැය පාර්ලිමේන්තුවට appeared first on ITN News.