නිදහස ලැබීමෙන් පසු ණය ආපසු ගෙවීම වැඩිම ප්‍රතිශතය වාර්තා වන්නේ මෙම වර්ෂයේ බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පශ්චාත් උපාධි ආයතනයේ කළමනාකරණ සංගමය සංවිධාන කළ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුව අමතමින්. ආසන්න වශයෙන් එම මුදල රුපියල් ට්‍රිලියන එකයි දශම නවයක්. ආසන්න වශයෙන් එය 2015 වසරේ කළ පිරිවැයෙන් සියයට අසූදෙකක්. නිදර්ශනයක් වශයෙන් ඉදිරිපත් කරන්නේ නම් 2017 වසරේ රජයේ බදු ආදායම බිලියන 1670 ක්. එම වසරේදී සමස්ත ණය ගෙවීම රුපියල් බිලියන 1603 ක්. 2010 වසරේ සිට 2014 දක්වා වසර පහ තුළ සාමාන්‍ය වාර්ෂික ණය ගෙවීම රුපියල් බිලියන 990 ක්.
ඒ අනුව ගත්විට 2017 වසර සමග සැසඳීමේ දී 2018 වසරේ වාර්ෂික ණය ගෙවීම දෙගුණක්. ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතා සදහා තිරසර දිගුකාලීන විසඳුම් සහ පහසුවෙන් හදුනාගත හැකි මිනුම් රාශියක් පවතිනවා. මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමිනුයි වත්මන් ආණ්ඩුව කටයුතු කරන්නේ. රාජපක්ෂ යුගයේ ගත් ණය පියවීම සිදුකරමින් රටේ සංවර්ධනය ඉදිරියට ගෙනයාම තුළින් වත්මන් ආණ්ඩුවේ සාර්ථක ගමන්මග හොඳින් පැහැදිලි වෙනවා.
පසුගිය පාලන සමයේ කටයුතු කළේ ඇස පිනවන සංවර්ධනයක් ඇති කිරීමට පමණයි. එහෙත් වත්මන් රජය ජනතාවගේ ජීවිතය නගා සිටුවීම පිළිබඳව දැඩි අවධානයක් යොමුකර ඇති බව දැනට ක්‍රියාත්මක වන සංවර්ධන වැඩපිළිවෙළින් පැහැදිලි වෙනවා.
Post a Comment