වාර්තාගත ලෙස පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ යාමට එරෙහිව ඉන්දියාව පුරා දැවැන්ත විරෝධතා රැළියක් ආරම්භ වී තිබෙනවා. කොංග්‍රස් පක්ෂයේ සභාපති රාහුල් ගාන්ධි මෙම දැවැන්ත විරෝධතා රැළිය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජයට එරෙහිව මෙහෙය වනවා. ඉන්ධන මිල ඉහළ යාමෙන් රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව පහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමිනුයි මෙම විරෝධතා රැළිය ආරම්භ කර ඇත්තේ. භාරත්භාන්ද් ලෙස හැදින්වෙන මෙම විරෝධතා රැළිය සදහා ඉන්දියාවේ විරුද්ධ පක්ෂ විසිදෙකක් එක්ව සිටිනවා. දිල්ලියේ පාලක පක්ෂය වන ආම් ආද්මි පක්ෂයේ නායකයන් ද මෙම විරෝධතාවලට එක්ව සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
විරෝධතාවට සහාය දක්වමින් කර්නාටක, මහාරාෂ්ට්‍ර, කේරළ සහ බිහාර් ප්‍රාන්ත ඇතුළු ප්‍රාන්ත කිහිපයක ව්‍යාපාර, රජයේ කාර්යාල, පාසල් වසා දමා තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. විරෝධතාකරුවන් ටයර් පුළුස්සමින් කලහකාරී ලෙස හැසිරී තිබෙනවා. ඇතැම් ස්ථානවල විරෝධතාකරුවන් මාර්ග හරස් කරමින් වාහන ගමනාගමනයට මෙන්ම දුම්රිය ගමන්වලටද බාධා එල්ල කර තිබෙනවා. ඉන්දියාවේ මහ මැතිවරණයක් පැවැත්වීම සදහා මාස නවයකට අඩු කාල සීමාවක් පවතිනවා. එලෙස මැතිවරණයක් ආසන්නයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට විරෝධය දක්වමින් විපක්ෂ කණ්ඩායම් රැසක් ඒකාබද්ධව ඇරඹි පළමු විරෝධතා රැල්ල මෙය වනවා.
Post a Comment