පාකිස්ථානයේ අගමැති ඉම්රාන් ඛාන් ඉන්දියාව සමඟ සාම සාකච්ඡා පැවැත්වීම සඳහා නැවතත් පොරොන්දුවක් ලබාදී තිබෙනවා.
තම අසල්වැසි රට වන ඉන්දියාවේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් පසු එම සාකච්ඡා සිදුකරනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ. සෞදි අරාබියේ ආරම්භ වූ සෞදි අරාබි ආයෝජන සමුළුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් පාකිස්තාන මැතිවරණය ජයගෙන බලයට පැමිණි පසු පළමුව උත්සාහ කළේ ඉන්දියාව සමඟ සාමය සඳහා අත දිගු කිරීමට බවයි. නමුත් ඉන්දියාව විසින් එය ප්රතික්ෂේප කළ බව ඔහු කියා සිටියා. තමන් එම මැතිවරණය පැවැත්වෙන තෙක් බලා සිට නැවතත් ඉන්දියාව සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට කටයුතු කරන බව ද ඔහු එහිදී පෙන්වා දුන්නා. ජාතික මට්ටමේ මැතිවරණය ලබන වසරේ මැයි මස මැද භාගයේදී පැවැත්වීමට නියමිතයි. පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉන්දීය විදේශ ඇමතිණිය සහ පාකිස්තාන නියෝජිතයෙකු සාකච්ඡා සදහා හමුවීමට සැළසුම් සකස්කර තිබුණද ඉන්දියාව එය ප්රතික්ෂේපකර තිබුණා. කාශ්මීරයේ සටන්කාමීන් පිටුපස පාකිස්තානය සිටින බව ඉන්දියාව චෝදනා කරනවා.
Post a Comment