Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහමැතිවරණ පෙත්සම් වැඩිදුර විභාගය හෙටට කල්තැබේ  

Add comments

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හා පාලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 06 වන දිනට සලකා බැලීම අද සිදු කෙරුණා. පෙත්සම් විභාගය හෙට දිනය දක්වා කල් තැබීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ.

මෙම පෙත්සම් සලකා බැලීම අද පෙරවරුවේ ආරම්භ වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 අධිකරණ ශාලවේදීයී. නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේමුණිද සිල්වා මහත්මිය සිය වාචික දේශනය ඉදිරිපත් කළා. ඇය තම දේශනය ඉදිරිපත් කරමින් කියා සිටියේ නාමයෝජනා භාරගැනීම විශේෂ නිවාඩු දිනවල සිදු වුවත් නාමයෝජනා භාරදීමට ඉන් බාධාවක් නොවූ බවයි. එම දින රජයේ නිවාඩු දින ලෙස නම් කර ඇත්තේ නාමයෝජනා භාරදීමෙන් අනතුරුව බවද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළා. එමෙන්ම නාමයෝජනා භාර දෙන අවස්ථාවේ මේ සම්බන්ධයෙන් කිසිඳු දේශපාලන පක්ෂයක් විරෝධතා ගොණුකර නැති බවද ඇය අධිකරණය හමුවේ පෙන්වා දුන්නා. පිළිගත් දේශපාලන පක්ෂ 40 ක  සහ ස්වාධීන කණ්ඩායම්  304 ක නාමයෝජනා භාරගෙන ඇති අතර දැනට විරෝධතා ඉදිරිපත් කර ඇත්තේ පිළිගත් දේශපාලන පක්ෂ 03 ක් පමණක් බවයි ඇය තවදුරටත් කියා සිටියේ.

එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව බලතල ඇති බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නිවැරදි බවද ප්‍රකාශ කළා. 2019 ඔක්තෝම්බර් මාසයේදී ජනාධිපතිවරයා මැතිවරණ පොරොන්දුවක් ලෙස වසර හතර හමාරකට පසුව පාර්ලිමේන්තුව විසිරුවන බවට පොරොන්දුවක් ලබාදී තිබූ  බව ප්‍රකාශ කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය කියා සිටියේ බහුතර ජනතාව ඡන්දය ප්‍රකාශ කළේ ජනපතිවරයාගේ ඒ පොරොන්දුව ඉටු වනු දැකීමට බවයි. ඒ අනුව මෙම පෙත්සම්කරුවන් උත්සාහ දරන්නේ ජනතාවගේ මූලික අයිතියක් වන ඡන්ද අයිතිය උල්ලංඝණය කිරීමට බවද වාචික දේශනය ඉදිරිපත් කරමින් ඇය කියා සිටියා. විසුරුවා ඇති පාර්ලිමේන්තුවක් නැවත කැඳවීමට ජනාධිපතිවරයාට වුවද ව්‍යවස්ථාවෙන් නීතිමය ප්‍රතිපාදන නැති බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය කියා සිටියේ එසේ කළ හැකි වන්නේ ජනාධිපතිවරයා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවකදී තමන් සෑහීමට පත්වන්නේ නම් පමණක් බවයි.

කොරෝනා වසංගතය සාර්ථක ලෙස පාලනයකර ඇති මෙවැනි අවස්ථාවක එවැන්නක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේමුණිද සිල්වා මහත්මිය තවදුරටත් සඳහන්  කළා. දැනට පවතින අණ පනත් මඟින් කොරෝනා වසංගතය මර්දනය කිරීමට අවශ්‍ය කරන ප්‍රතිපාදන ප්‍රමාණවත්ව පවතින බවයි ඇය කියා සිටියේ. තවද පෙත්සම්කරුවන් ජනාධිපතිවරයාගේ මතය ඔවුන් විසින්ම තීරණය කර ඇති බව සඳහන් කළ ඇය තම මතයට අනුව එවැනි තීරණ ගත හැකි නම් රටකට ජනාධිපතිවරයකු අවශ්‍ය නොවන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන්නේ.

පළාත් සභා මැතිවරණය ද දැනට කල් ගොස් ඇති බැවින් මේ ආකාරයෙන් කටයුතු සිදු වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණය ද දිගින් දිගටම කල් යන බව ඇය තවදුරටත් කියා සිටියා. එහිදී ප්‍රශ්නයක් යොමුකරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විමසා සිටියේ නව නීති සම්පාදනය කර බලාත්මක කිරීමට රජයට කොපමන කාලයක් ගතවන්නේ ද යන්නයි. එයට පිලිතුරු දෙමින් ඉන්දිකා දේමුණිද සිල්වා මහත්මිය කියා සිටියේ කැබිනට් අනුමැතිය ලබාගෙන එය ගැසට් කිරීම දක්වා වූ කාලය සති 06 කට ආසන්න බවයි. එහෙත් මෙම අවස්ථාවේදී නව නීති සම්පාදනය කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව ඇය තවදුරටත් ප්‍රකාශ කළා. රාජ්‍ය බුද්ධි අංශය කොවිඩ් තත්ත්වය පිළිබඳ ජනාධිපතිතුමාට ලබාදුන් රහස්‍ය වාර්තාවක් සොලිසිටර් ජනරාල්වරිය මෙහිදී පංච පුද්ගල විනිදුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව මැතිවරණයක් පැවැත්වීම සදහා සුදුසු වාතාවරණයක් රටේ නිර්මාණය වී ඇති බවයි ඇය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ. කලාපයේ සෙසුරටවල කොවිඩ් වසංගත තත්ත්වයක් හමුවේ වුවද මැතිවරණ පවත්වා ඇති බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය දකුණු කොරියාවේ පැවති මහමැතිවරණය ඊට උදාහරණ ලෙස පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුව රැස් නොවූවද රාජ්‍ය මූල්‍ය පිළිබඳව ජනාධිපතිතුමා සතු වගකීම ව්‍යවස්ථාවෙන් සළසා ඇති බවත් පාර්ලිමේන්තුවේ කාලසීමාව ව්‍යවස්ථාවෙන්ම වසර 05 කට නොවැඩි කාලසීමාවක් ලෙස දක්වා තිබෙන බවත් නැවත පාර්ලිමේන්තුව කැඳවීමෙන් එම කාලය ඉක්මවා යාමේ ගැටලුවක් ඇති බවත් ඇය තවදුරටත් කියා සිටියා. පෙත්සම්වල වැඩිදුර විභාගය හෙට පෙරවරු 10 දක්වා කල් තැබීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ.

 

 

 

 

The post මහමැතිවරණ පෙත්සම් වැඩිදුර විභාගය හෙටට කල්තැබේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG