Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා පාලනයේදී ශ්‍රී ලංකා ජනපතිගේ නායකත්වය අතිවිශිෂ්ටයි; ආර්ථිකය ගොඩගන්න අපේ සහය – ඉන්දීය අගමැති  

Add comments

කොවිඩ් නයින්ටීන් අර්බුදය හමුවේ ද්වීපාර්ශ්වික සබදතා තවත් වර්ධනය කර ගැනීමට ඉන්දු ශ්‍රී ලංකා නායකයින් එකගත්වය පළකළා.

අද පෙරවරුවේ සුහද දුරකතන සංවාදයක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සදහන් කළේ සෑම ආකාරයකින්ම දෙරට අතර සබදතා වර්ධනය කර ගැනීම සදහා කැපවී කටයුතු කරන බවයි. ජනාධිපති කාර්යාලයේ සිට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග දුරකතනය මගින් සම්බන්ධ වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දෙරටටම බලපාන ක්ෂේත්‍ර පිළිබද අදහස් හුවමාරුකර ගැනීමට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් සතුට පළකර සිටියා. වත්මන් දුෂ්කර කාලපරිච්ඡේදයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදුකළ උපකාර සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සහ එරට ජනතාවට ජනාධිපතිතුමා කෘතඥතාව පළකර සිටියා. ඉන්දියාව ප්‍රදානය කළ මෙට්‍රික්ටොන් 10 ක වෛද්‍යාධාර මෙම අර්බුදකාරී අවස්ථාවේ දී බෙහෙවින් ප්‍රයෝජනවත් වූ බවයි.

ඉන්දියාව තුළ කොවිඩ් නයින්ටීන් පාලනය කිරීම සදහා නරේන්ද්‍ර මෝදි මහතා ගත් උත්සාහය පිළිබද ජනාධිපතිතුමා සිය ප්‍රසාදය පළකළා. අඩු වරප්‍රසාද සහිත කණ්ඩායම් වෙනුවෙන් හදුන්වා දුන් ආර්ථික සහන වැඩපිළිවෙළ ද ජනාධිපතිතුමාගේ අවධානයට යොමුවුණා. ශ්‍රී ලංකාව ද සතුටුදායක ලෙස රෝගය පාලනය කර ගැනීමට සමත්ව සිටින බවයි එතුමා කියාසිටියේ. ඊට ප්‍රතිචාර දැක්වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කෝටි 130 ක ජනගහණයක් හසුරුවා ගැනීම දුෂ්කර කාර්යයක් වුවද වසංගත ව්‍යාප්තිය 75% කින් පමණ මර්දනය කර ගැනීමට හැකිවූ බව සදහන් කළා. තමා ජනාධිපති රාජපක්ෂ මැතිතුමා හදුනාගෙන ඇත්තේ නිරවුල් චින්තනයක් සහිත ඉක්මනින් දුෂ්කර තීරණ ගැනීමේ හැකියාව ඇති නායකයෙකු ලෙස බවයි මෝදි මහතා සදහන් කළේ.

තමාට ලැබී ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකාව වසංගතය හොදින් පාලනය කර ගැනීමට සමත්ව ඇති අතර එහි ගෞරවය ජනාධිපතිතුමාට හිමිවිය යුතු බව ඒ මහතා කියාසිටියා. මේ වනවිට සිය ප්‍රමුඛතාව ආර්ථික පුනරුදය බව කී රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන පෙලේ ව්‍යාපෘති කිහිපයක් නැවත පණගැන්වීමට ඉන්දියාව සහයෝගය අපේක්ෂා කරන බව සදහන් කළා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කඩිනම් කිරීම ඉන් එක් ව්‍යාපෘතියක්. අගය එකතු කළ කාර්මික සහ කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවර්ධනය සහ එම ක්ෂේත්‍රවල ආයෝජන සදහා ඉන්දීය ආයෝජකයින්ගේ දායකත්වය වැදගත් වනවා.

දෙරට අතර ක්‍රියාත්මක මූල්‍ය පහසුකම් හුවමාරු වැඩසටහන තවත් පුළුල් කිරීම සදහා ජනාධිපතිතුමා මෙහිදී යෝජනා කළා. සාර්ක් හුවමාරු පහසුව යටතේ ප්‍රදානය කර ඇති ඩොලර් මිලියන 400 ක මුදලට ඩොලර් බිලියන 1.1 ක් එක් කිරීමට ඉන්දීය රජය එකගවන්නේ නම් විදේශ විනිමය ගැටලු කළමනාකරණය කර ගැනීමට විශාල ආධාරයක් ලැබෙන බවද ජනාධිපතිතුමා කියාසිටියා. ශ්‍රී ලංකාවට වාසිදායක කොන්දේසි යටතේ සහාය දීමට ඉන්දීය රජය සූදානම් බවයි නරේන්ද්‍ර මෝදි මහතා පැවසුවේ.

The post කොරෝනා පාලනයේදී ශ්‍රී ලංකා ජනපතිගේ නායකත්වය අතිවිශිෂ්ටයි; ආර්ථිකය ගොඩගන්න අපේ සහය – ඉන්දීය අගමැති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG