අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේත් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේත් ජන්ම දිනයන් යෙදිලා තියෙන්නේ අදටයි. අද උදෑසනම ජනාධිපතිතුමත්, අගමැතිතුමත් උන්වහන්සේලාගේ සුවදුක් විමසා බලන්න විහාරස්ථානවලට පැමිණියා.
ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහනායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්වහන්සේගේ 88 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා. ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා උන්වහන්සේට ජන්ම දින සුබ පැතුම් එක් කළා. උන්වහන්සේට ආශිර්වාද පතා පැවති දානමය පිංකමට ද ජනාධිපතිතුමා එක්වුණා. 88 වන ජන්ම දිනය වෙනුවෙන් නිකුත් කෙරුණු සමරු මුද්දරය ද ජනාධිපතිතුමා උන්වහන්සේ වෙත පිළිගැන්වූවා.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ද ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයට ගොස් මහනාහිමියන් බැහැ දැක නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කළා. කොරෝනා වසංගතයෙන් ජනතාව මුදා ගැනීමට ගෙන ඇති පියවර මහනාහිමියන්ගේ ප්‍රශංසාවට ලක්වුණා. දෙහිවල ගල්කිස්ස නගරාධිපති ස්ටැන්ලි ඩයස් මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
මේ අතර නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේගේ 78 වන ජන්ම දිනය ද අදට යෙදී තිබෙනවා. එම විහාරස්ථානයට ගිය ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසමින් නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කළා. නාහිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් සංවිධාන කර තිබූ ලේ දන්දීමේ වැඩසටහන හා ප්‍රදේශවාසීන්ට පරිත්‍යාග කිරීම සදහා එක් රැස්කර තිබූ භාණ්ඩ තොගය ජනාධිපතිතුමාගේ නිරීක්‍ෂණයට ලක්වුණා.
මේ අතර අභයාරාමයට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ද පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේට සුබ පැතුම් එක් කළා. රටේ දේශපාලන, සමාජයීය හා ආර්ථික ක්‍රියාවලියට අදාළ කරුණු සම්බන්ධයෙන් උන්වහන්සේ අග්‍රාමාත්‍යවරයාට අනුශාසනා කළා. ලේ දන්දීමේ අවස්ථාවට පැමිණ සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමග ද අග්‍රාමාත්‍යවරයා සුහද කතාබහක නිරත වුණා.
The post අදට ජන්ම දිනය යෙදුණු නා හිමිවරුනට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුබ පැතුම් appeared first on ITN News.
Post a Comment