Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෘත්තිමය හැකියාවන්ගෙන් පිරිපුන් විශිෂ්ටයන්ගෙන් පිරි ශ්‍රී ලංකාවක් බිහිවනු දැකීම අපගේ අපේක්ෂාවයි – අගමැති  

Add comments

වෘත්තිමය හැකියාවන්ගෙන් පිරිපුන් විශිෂ්ටයන්ගෙන් පිරි ශ්‍රී ලංකාවක් බිහිවනු දැකීම අපගේ අපේක්ෂාව යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) පෙරවරුවේ දී පැවසීය.

“SKILLS SRI LANKA” ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සව අවස්ථාවට එක්වෙමින් බණ්ඩාරනායක
ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ
ප්‍රධානත්වයෙන් “SKILLS SRI LANKA” හැකියාවෙන් උගත් පරම්පරාවක් ජාතික වැඩසටහන ආරම්භ
විය.

නිපුණතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන,පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශය මෙම ජාතික
වැඩසටහන ක්‍රියාවට නංවයි. අග්‍රාමාත්‍යතුමා මෙහි දී කාර්මික විද්‍යාලවල දරුවන්ට ආරක්ෂිත ඇඳුම්
කට්ටල ප්‍රදානය කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා “SKILLS SRI LANKA” ජාතික වැඩසටහනේ සමාරම්භක
අවස්ථාවට එක්වෙමින් කළ සම්පූර්ණ කතාව මෙසේය.

“SKILLS SRI LANKA” ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වීමට ලැබීම මා භාග්‍යක් කොට
සළකනවා. හැකියාව කියන දේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වෙනවා. කුඩා කාලයේ අපි දරුවන්ගේ විවිධ හැකියාවන් දකිනවා. ඒ හැකියාවන් ඔප්නංවන්න අපේ රටේ තිබුණ අධ්‍යාපන ක්‍රමවේද බොහොම අඩුයි.

අධ්‍යාපන කියන තරගයෙන් හැලෙන දරුවන්ගෙ මානසිකත්වය කඩා වැටීමක් සිදුවෙනවා. ශිෂ්‍යත්වෙ අසමත්
කිව්වාම දරුවා එතැනින් වැටුණා, මේ දවස්වල දරුවන් සාමාන්‍ය පෙළ විභාගය ලියනවා. සාමාන්‍ය පෙළ
අසමත් කිව්වාම දරුවො එතැනින් වැටෙනවා. උසස් පෙළ සමත් නෑ කිව්වාම එතැනිනුත් වැටෙනවා. අවසානයේ
අර කුඩා අවධියේ විවිධ හැකියාවන් තිබුණු දරුවාගේ හැකියාවට තැනක් නැති වෙනවා.
විභාග සමත්වුණු පිරිස වගේම විභාග අසමත්වුණත් ජීවිත දිනපු බොහෝ දෙනෙක් අපේ සමාජයේ ඉන්නවා.
ආණ්ඩුවක් විධියට අපි මේ තත්ත්වය දැක්කෙ අද ඊයෙ නෙමෙයි. ඒ නිසා අපි සෑම විටම මේ තත්ත්වය තේරුම්
අරගෙන අධ්‍යාපනයට වගේම වෘත්තිය අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කළා. ඒ
වගේම ඒවා ක්‍රියාත්මක කළා.

ඔබට මතක ඇති කාර්මික විද්‍යාලවලට මුල් කාල‍යේ තරුණ තරුණියන් ආවේ ඉතා අඩුවෙන්. ගමේ කාර්මික
විද්‍යාලයට යන්න ලැජ්ජාවුණ කාලයක් අපේ රටේ තිබුණා. එදා තරුණයො හිතුවෙ කාර්මික විද්‍යාලයට
ගියාම තමන්ගෙ සමාජ තත්ත්වය නැතිවෙනවා කියලා. මට මතකයි මම කම්කරු හා වෘත්තිය පුහුණු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේදි (1994-1997) කාර්මික විද්‍යාලවලට නව පාඨමාලා හඳුන්වලා දුන්නා. ඒ වගේම නියමිත පරිදි ක්‍රියාත්මක වුණේ නැති කාර්මික විද්‍යාල අලුත්වැඩියා කරලා අධ්‍යන කටයුතු ආරම්භ කරන්න අවශ්‍ය පරිසරයක් හැදුවා. ඒ වගේම කාර්මික විද්‍යාල දරුවන් අතරට ගෙනියන්න විවිධ ක්‍රියාමාර්ග ගත්තා. උසස් අධ්‍යාපනයට යොමුවීමට අවස්ථාව අහිමිවුණ මේ රටේ දරු දැරියන් සඳහා මම වෘත්තිය පුහුණු අධිකාරිය ආරම්භ කළා. මෙමඟින් වෘත්තිය පුහුණුවට යොමුවෙන දරුවන්ට රැකියා අවස්ථාවන් වැඩිදියුණු කළා.

මගේ මතකයේ හැටියට දිවයින පුරා ප්‍රාදේශිය මට්ටමෙන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන 175කට ආසන්න
ප්‍රමාණයක් පිහිටුවීමට අපි කටයුතු කළා. රැකියා වෙළඳපොළ අධ්‍යනය කරලා අපි පාඨමාලා හැදුවා. ඒ අනුව වෙළඳපොළට අවශ්‍ය ශ්‍රමිකයන් වෘත්තීය පුහුණු අධිකාරිය මඟින් හඳුන්වාදීමට අපිට ඒ කාලයේ හැකියාව ලැබුණා.
වෘත්තිය පුහුණු අධිකාරිය ආරම්භ කරලා අර මුලුගැන්විලා හිටපු තරුණ පරම්පරාව වෘත්තිය පුහුණුවට
යොමු කරන්න ආරම්භය තැබුවා. “ජීවිතයට හැකියාවක් – හැකියාවට රැකියාවක්” තේමාව යටතේ හැකියාවට
අපි තැන දුන්නා.

අපි කැමතියි අපේ රටේ හැම දරුවෙක්ම විශ්ව විද්‍යාලයකට යනවා නම්.අපි කොතරම් විශ්ව විද්‍යාල ප්‍රවේශය ඉහළ දැමුවත් හැමෝටම විශ්ව විද්‍යාලයට යන්න වරම් ලැබෙන්නෙ නැහැ. ඒක තමයි ඇත්ත. අන්න එතැනදි විශ්ව විද්‍යාලයට යන්න බැරිවෙන දරුවන් ගැන අපි බලන්න ඕනි. ඒ දරුවනුත් අපේ රටේ දරුවන්. ඒ නිසා විභාගෙ අසමත් වුණත් ඔවුන්ගෙ ජීවිතේ සමත් කරන එක අපේ වගකීමක්. අපි වෘත්තිය පුහුණුව ආරම්භ කරනකොට අද වගේම එදත් විරුද්ධ පක්ෂය විවිධ මැසිවිලි නැගුවා. එහෙත් බොහෝ තරුණ තරුණියන් ඒවාට ඇහුංකන් දෙන්නෙ නැතිව වෘත්තීය පුහුණුව ලබා ගත්තා. අපට අවශ්‍ය වුණේ ගෘහ සේවයට ලංකාවෙන් කාන්තාවන් රට යවන එක නවත්වන්න. පුහුණු ශ්‍රමිකයන්
ලෙස ඔවුන් උසස් රැකියාවලට යොමු කරන්න. එදා අපි පුහුණු ශ්‍රමිකයන් ලෙස කොරියාවට තරුණ තරුණියන් යවන කොට බොහෝ දෙනෙක් කොරියාවෙද යන්නෙ කියලා අපහාස කළා. අද තත්ත්වය වෙනස්. ගමක කොරියාවේ ගියපු තරුණ තරුණියකගෙ අත මිට සරුවෙලා තියෙනවා දැක්කම, කොරියාවෙ යන්නත් තරුණයො උනන්දුයි. දැන් කොරියාවට විතරක් නෙමෙයි බොහෝ රටවල්වලට පුහුණු ශ්‍රමිකයන් යොමු කිරීමට අපට හැකිවෙලා තියෙනවා.
ඒ නිසා වෙනදාට වඩා අපේ රටේ වෘත්තිය පුහුණුවීම් සඳහා තරුණ තරුණියන්ගෙ ඉල්ලුම වැඩියි.
මේ ඉල්ලුමත් එක්ක ලෝකයේ අවශ්‍යතා තේරුම්ගෙන අපේ තරුණ පරපුර ඒ වෘත්තීන්වලට යොමු කිරීම අවශ්‍යයයි.

ඒ නිසා අද ආරම්භවන “SKILLS SRI LANKA” ජාතික වැඩසටහන ඉතාම කාලෝචිතයි. රටේ අනාගතය
භාරගන්න අපේ තරුණ පරපුර වෙනුවෙන් මෙවැනි වැඩපිළිවෙලක් ආරම්භ කිරීම ගැන මම නිපුණතා
සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන,පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශයට සුබ පතනවා. මෙම වැඩපිළිවෙල මගින් අපේ රටේ වෘත්තීය අධ්‍යාපනය තවත් පියවර කිහිපයකින් ඉදිරියට ගෙනයාමට හැකිවෙනු ඇතැයි මා විශ්වාස කරනවා.

කාර්මික විද්‍යාල වැඩි දියුණු කරන්නත්, විදේශ රැකියා වෙළඳ පොල ඉලක්ක කරගත් නව වෘත්තිය පුහුණු පාඨමාලා හඳුන්වා දෙන්නත් මෙම වැඩසටහනට හැකියාව තිබෙනවා. අපේ රටේ තාරුණ්‍යය ලෝකයේ නිපුණත්වයෙන් හෙබි දියුණු සමාජයට ගැලපෙන වෘත්තිය දැනුමෙන් සන්නද්ධ කිරීමට රජය කළයුතු සෑම පියවරක්ම ගන්නා බව සිහිපත් කරන්න කැමතියි. ඒ වෙනුවෙන් දැනටමත් වෘත්තිය අධ්‍යාපනයට යොමුවන තරුණ තරුණියන්ට රුපියල් 4000ක ශිෂ්‍යාධාර මුදලක් අපි ලබා දෙනවා. එපමණක් නෙමෙයි පෞද්ගලික අංශය සම්බන්ධ කරගනිමින් වෘත්තිය අධ්‍යාපනය,
කාර්මික පුහුණුව සහ විශේෂයෙන් නව නිපැයුම් වැනි අංශ රට තුළ ජනප්‍රිය කරන්න අප පියවර රැසක් ආරම්භ කර තිබෙනවා. ඒ තුළින් වෘත්තිමය හැකියාවන්ගෙන් පිරිපුන් විශිෂ්ටයන්ගෙන් පිරි ශ්‍රී ලංකාවක් බිහිවනු දැකීම අපගේ
අපේක්ෂාව යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික නායකයෝ මෙම ජාතික වැඩසටහනට ආශීර්වාද එක් කිරීමට පැමිණ
සිටියහ.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන චමල් රාජපක්ෂ, ජී.එල් පීරිස්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සරත් වීරසේකර
මහත්වරු නිපුණතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන,පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ
වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය ඇතුළු මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, කාර්මික විද්‍යාලවල
ඉගෙනුම ලබන සිසු දරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

The post වෘත්තිමය හැකියාවන්ගෙන් පිරිපුන් විශිෂ්ටයන්ගෙන් පිරි ශ්‍රී ලංකාවක් බිහිවනු දැකීම අපගේ අපේක්ෂාවයි – අගමැති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG