ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගයේ සිද්ධියට අදාළව කුරුදුවත්ත පොලීසිය මගින් ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ නිරූපන ශිල්පිනියක වන චූලා පද්මේන්ද්‍ර යන දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා විවාහක රූ රැජින නැතිනම් මිසිස් ශ්‍රී ලංකා තේරීමේ තරගය කොළඹදී පැවැත්වුණේ පසුගිය ඉරිදායි. එහිදි පුෂ්පිකා ද සිල්වා විවාහක රූ රැජින ලෙස කිරැළු දැරුවා. එසැණින් ඇයගේ කිරුළ උදුරාගෙන දෙවන ස්ථානයට පත්වූ තරගකාරියට එය පැළදවූවා. මෙම අවස්ථාවේදී වේදිකාව මත ඇති වූයේ ගැටුමක්. කිරුළ උදුරාගැනීමට කටයුතු කළේ පසුගිය වසරේ ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළු පළන් කැරොලයින් ජූරි සහ නිරූපන ශිල්පිනියක වන චූලා පද්මේන්ද්‍ර යන අයයි. ඒ ඇය විවාහක සැමියාගෙන් වෙන්ව සිටින බව පවසමින්.
කෙසේවෙතත් පුෂ්පිකා පැවසුවේ තමන් සැමියාගෙන් වෙන්ව දරුවා සමග ජීවත් වුවද දික්කසාද වී නොමැති බවයි. මේ අනුව මෙරට තරග සංවිධායකයින් පසුව යළි පැවැත්වූ උත්සවයකදී පුෂ්පිකා ද සිල්වා මහත්මියට යළි කිරුළ ලබා දීමට කටයුතු කළා. ඒ පුෂ්පිකා ද සිල්වා මහත්මියට සිදුවූ අසාධාරණය පිළිබද සමාව අයදින බවට තරග සංවිධායකයින් ප්‍රකාශයක්ද සිදුකරමිනුයි. තරගාවලියේ ජාතික අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන චන්දිමාල් ජයසිංහ මහතා මාධ්‍ය හමුවක්ද පවත්වමින් කියා සිටියේ මෙම සිද්ධියෙන් නෙළුම් පොකුණ රගහලටද හානි සිදුව ඇති බවයි.
අඩි උස සපත්තුවලින් වේදිකාවට සිදුවූ හානි වලට අමතරව පැය දෙකක් වැඩිපුර වේලාවක් ගත වීම හේතුවෙන් අමතර මුදලක්ද ගෙවීමට සිදුවූ බව ඔහු පැවසුවා. කැරොලයින් ජූරි මහත්මියගේ හැසිරීම අනුමත නොකරන බව ලෝක විවාහක රූ රැජින තරගාවලියේ සංවිධායකවරුන්ද පවසා තිබෙනවා. මේ අතරතුරයි අද දිනයේදී කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර යන දෙදෙනා කුරුදුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ.
The post කැරොලයින් ජූරි සහ චූලා අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment