බන්ධනාගාරගත කර සිටි වැරදිකරුවන් 93 දෙනෙක් ජනපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට අද පොසොන් පෝදා කටයුතු කෙරුණා. ඒ අනුව භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව සිටි දුමින්ද සිල්වා මහතාට ද අද දිනයේ ජනපති සමාව හිමි වූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සදහන් කළා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ එතුමන්ගේ වෘත්තිය සමිති පිළිබද උපදේශකවරයෙකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුලු 4 දෙනෙකු මුල්ලේරියාව ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කෙරුණේ පාළාත් පාලන මැතිරවරණය පැවැති 2011 වසරේ ඔක්තෝම්බර් 8 වැනිදායි. අදාළ සිද්ධිය වූ ස්ථානයේ තිබූ ගිනිඅවි පසුව පොලිස් භාරයට ගැණුනා.
සිද්ධියෙන් තුවාල ලැබූ එවක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා රෝහල්ගත කෙරුණා. පසුව එම සිද්ධියට අදාළව දුමින්ද සිල්වා මහතා ඇතුලු 13 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කෙරුණා. එම 13 දෙනා අතුරින් දුමින්ද සිල්වා මහතා ඇතුලු 5 දෙනෙකුට ඉකුත් 2016 වසරේ සැප්තැම්බර් 8 වැනිදා කොළඹ මහාධිකරණය මරණ දඩුවම නියම කළා.
2015 වසරේ සැප්තැම්බර් 12 වනදා සිට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දිනපතා රැස්ව මෙම නඩුව විභාග කිරීමටයි කටයුතු කළේ. පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 42 දෙනෙකු නීතිපතිවරයා විසින් කැදවනු ලැබූ අතර රස පරීක්ෂකවරයාගේ වාර්තාව හා අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තා ඇතුලු ලේඛන 126 ක් මෙහි නඩු භාණ්ඩ ලෙස නම් කර තිබුණා. මෙහිදි අධි චෝදනා 17 ක් නීතිපතිවරයා විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කළා. විනිසුරු මඩුල්ලේ සභාපති ශිරාන් ගුණරත්න මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සියලු සැකකරුවන් සියලුම චෝදනාවලින් නිදෙස් කොට නිදහස් කිරීමටයි කටයුතු කළේ.
කෙසේනමුත් දුමින්ද සිල්වා මහතා ඇතුලු 5 දෙනෙකු එහි වරදකරුවන් ලෙස තීරණය කිරීමට පද්මිණි එන්. රණවක සහ එම්.සී.බී.එස්. මොරායස් යන සෙසු විනිසුරුවරුන් පියවර ගත්තා. ඒ අනුව විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවට අනුව දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද ,සරත් බණ්ඩාර හා ජානක බණ්ඩාර ගලගොඩ යන අයට මරණ දඩුවම හිමිවුණා. නඩුවේ සෙසු විත්තිකරුවන් 8 දෙනා නිදොස් කොට නිදහස් කෙරුණා.
පසුව එම තීන්දුවට එරෙහිව දුමින්ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා. එවකට අග විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් 2018 වසරේ ඔක්තෝම්බර් 11 වැනිදා ප්‍රකාශයට පත් කළේ, දුමින්ද සිල්වා මහතා ඇතුලු විත්තකරුවන් තිදෙනෙකුට මහාධිකරණය මගින් පැනවූ මරණ දඩුවම නියම කරන බවයි.
මරණ දඩුවම නියම වී සිටි තුෂාර ද මෙල් මහතා දඩුවමින් ඉවත් කර මුදා හැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. කෙසේවෙතත් දුමින්ද සිල්වා මහතාගේ නඩු තීන්දුව දේශපාලන පළිගැනීමක් බවට බොහෝ පිරිස් මතවාදයන් ඉදිරිපත් කළා. ඔහුට නිදහස ලබා දීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී ම සාකච්ඡාවට ලක්වුණා. මේ අතරතුරයි ජනාධිපති විශේෂ සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට නිදහස ලැබී තිබෙන්නේ.
The post ජනපතිගෙන් සමාව ලැබුණු දුමින්ද හිරගෙදරින් සිය ගෙදරට එයි appeared first on ITN News.
Post a Comment