විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙළිය ලෙස සැළකෙන 32 වන ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු හතරයි තිහට ජපානයේ ටෝකියෝ නුවර දී ආරම්භ වෙනවා.
මෙම සූදානම මධ්‍යයේ ඉන්ෆා සුළි කුණාටුව ජපානයට ළගාවී ඇති බව එරට කාලගුණ අංශ අනතුරු අගවා තිබෙනවා.
වසර 4 කට වරක් පැවැත්වෙන ලොව මහා ක්‍රීඩා සැණකෙළිය වන ඔලිම්පික් තරගාවලිය ජපානයේ ටෝකියෝ නුවර ජාතික ක්‍රීඩාංගනයේ දී අද ආරම්භ වනවා. ඉකුත් පසරේ පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය කොරෝනා වයිරස් ව්‍යාප්තිය හේතුවෙන් මෙම වසරට කල්දැමුණා. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව මෙවර ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමට තරග සංවිධායක කමිටුව තීරණය කළා.
1896 වසරේ ග්‍රීසියෙන් ඇරඹි ඔලිම්පික් උළෙලේ මෙවර සත්කාරකත්වය දරණ ජපානය එම අවස්ථාව ලබාගත්තේ තුර්කියේ ස්තාන්බූල් සහ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර සමග තරගවැදීමෙන් අනතුරුවයි. ඔලිම්පික් තරගාවලියක් සදහා ජපානය සත්කාරකත්වය දරණ දෙවන අවස්ථාව මෙය වන අතර ඔවුන් මීට පෙර 1964 දී ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සදහා සත්කාරකත්වය ලබාදුන්නා. ආසියාතික රටක පැවැත්වූ පළමු ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලෙස මෙය සැළකෙනවා. රටවල් 204 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,427 ක් ඔලිම්පික් තරගාවලිය සදහා ඉදිරිපත් වනවා. ක්‍රීඩා තිස්තුනකට අදාල ඉසව් 339 ක් පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. අලුතින් ක්‍රීඩා ඉසව් 5 ක්ද මෙවර ඇතුළත්කර තිබීම විශේෂත්වයක්.
ජපානය පරිසරයට දක්වන ආදරය ලොවටම කියාපාමින් ඔලිම්පික් පදක්කම් නිෂ්පාදනය සදහා ජපාන වැසියන් භාවිතයෙන් ඉවත් කළ ජංගම දුරකතන මිලියන 6 කට අධික සංඛ්‍යාවක් යොදාගෙන තිබෙනවා. ඒවායේ ලෝහ කොටස් ටොන් අසූදහසක් වසර දෙකක කාලයක් ඇතුළත මේ සදහා එකතුකර තිබෙනවා. එමෙන්ම ක්‍රීඩා උළෙලේ විචිත්‍රවත් පහන නිර්මාණය කිරීම සදහා ද එම ජංගම දුරකතනවල ඉතිරි කොටස් යොදාගෙන ඇති බවයි පැවසෙන්නේ. ක්‍රීඩා උළෙල සදහා සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැදී සිටින ඔලිම්පික් ගම්මානයේ ඇදන් නිෂ්පාදනය කිරීම සදහා කාඩ්බෝඩ් භාවිත කර තිබීම ද විශේෂත්වයක්. මෙවර ඔලිම්පික් උළෙල සමස්ත පිරිවැය ඇමෙරිකානු ඩොලර් බිලියන 20 ක් වන බවද සදහන්.
කෙසේ වෙතත් මේ මස පළමුවනදා සිට ඔලිම්පික් ගම්මානයෙන් කොරෝනා ආසාදියින් 90 කට වැඩි පිරිසක් වාර්තාවී තිබෙනවා. අදින් ඇරඹෙන ඔලිම්පික් උළෙල ලබන 8 වනදා දක්වා දින 17 ක් පුරා පැවැත්වෙනවා.
මේ අතර ඉන්ෆා සුළි කුණාටුව ජපානයට ළගාවී ඇති බව එරට කාලගුණික අංශ දැනුම්දී තිබෙනවා. පැයට කිලෝමීටර් 150 ක පමණ ප්‍රබලත්වයකින් යුත් ඉන්ෆා සුළි කුණාටුව මේ වනවිට ඔකිනාවා සිට කිලෝමීටර් 320 ක් දුරින් ස්ථාපිතව ඇති බවයි පැවසෙන්නේ. මේ හේතුවෙන් ඔලිම්පික් තරගාවලියට ද බලපෑම් එල්ලවනු ඇති බවට අනතුරු අගවා තිබෙනවා.
The post ඔලිම්පික් අරඹන්න ජපානය සූදානමින් appeared first on ITN News.
Post a Comment