අධික වර්ෂාවත් සමඟ රත්නපුර ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා.
රත්නපුර නගරයේ බණ්ඩාරනායක මාවත, මුද්දුව මාර්ගය පොලීසිය අසලින් යටවී ඇති අයුරු දැකගත හැකියි. මුද්දුව, ඇලපාත, අළුපොත, කරන්ගොඩ, දිමියාව, කහන්ගම ආදී ප්‍රදේශ ජලයෙන් යටවී තිබෙනවා.
කළුගගේ ජල මාපකය අද පස්වරුව වන විට මීටර් 8.5 දක්වා ඉහළ ගොස් තිබුණා. එය මීටර් 9.5 දක්වා වර්ධනය වුවහොත් ගංවතුර තත්ත්වයක් ඇති වන බවයි ආපදා කළමනාකරණ නිලධාරීන් පවසන්නේ.
මේ අතර මධ්‍යම කදුකරයට ඇති වූ තද වැසි හේතුවෙන් දික්ඔය පොඩයිස් වත්තේ වතු නිවාස 25 ක් ජලයෙන් යටවුණා. හැටන් කුඩාගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් නිවස සම්පූර්ණයෙන්ම විනාශ වුණා. පදිංචිකරුවන්ට හානියක් සිදුවී නොමැති අතර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් ද කඩා වැටී තිබෙනවා. ඒ හේතුවෙන් ගමනාගමනයට බාධා පැමිණ ඇති බවයි නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය සදහන් කළේ.
ගම්පහ, යක්කල, මිරිස්වත්ත ප්‍රදේශය හරහා හමාගිය තද සුළගකින් මාර්ගවලට ගස් කීපයක් කඩැවැටී තිබුණා. විදුලිබලය ද ඇණහිට තිබූ අතර එය යථා තත්ත්වයට පත් කිරීමටයි කටයුතු කෙරුණේ.
කොළඹ – හලාවත ප්‍රධාන මාර්ගයට ඉරට්ටකුලම ප්‍රදේශයේ දී විශාල ගසක් කඩා වැටීමෙන් ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිටියා. වට අඩි 50 ක පමණ විශාලත්වයෙන් යුත් එම ගසා කපා ඉවත් කිරීමට මාදම්පේ පොලීසිය, ආපදා කලමනාකරණ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් දැඩි උත්සාහයක් ගන්නා අයුරු දක්නට ලැබුණා.
බලංගොඩ මැද්දකන්ද ප්‍රදේශයේ වතු නිවාස පේළියකට ගසක් කඩා වැටීමෙන් නිවාස 3 කට හානි සිදුවුණා.
වැල්ලවත්ත ශ්‍රී සුධරමාරාම මාර්ගයේ කුලී මෝටර් රථයක් මතට සිමෙන්ති ගල් බැම්මක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. මහල් නිවාසයක රැදී සිටි පුද්ගලයෙකු කැදවා ගෙන යාම සදහා පැමිණ සිටියදීයි ඔහු මෙම අනතුරට ලක්වුණේ.
The post අධික වර්ෂාවත් සමඟ රත්නපුර ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වෙයි appeared first on ITN News.
Post a Comment