හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි චෝදනා පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ මඩුල්ල හමුවේ ප්‍රකාශ කළා. ඒ 2008/ 2009 වසරවල කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට චෝදනා කරමින් ගොනු කර ඇති නඩුවෙනුයි.
මෙම නඩුව අද කැදවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා කියා සිටියේ වසන්ත කරන්නාගොඩ මහතා මෙහි 14 වන විත්තිකරු ලෙස නම් කර ඇති බවයි. ඔහු එලෙස නම් කිරීමට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ අනුව ඔහුට එරෙහි චෝදනා විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවද ජනක බණ්ඩාර මහතා පැවසුවා. එම තහනම් නියෝගය නඩු විභාගය අවසන් වනතෙක් බලපැවැත්වෙන බව කී ඒ මහතා අදාළ විත්තිකරුට එරෙහි චෝදනා පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බව සදහන් කළා.
මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කියා සිටියේ නීතිපතිවරයාගේ මෙම ස්ථාවරය අභියාචනාධිකරණය හමුවේ මී ළග නඩු දිනයේදී දැනුම් දෙන ලෙසයි. නඩුවේ විත්තිකරුවන් 14 දෙනාම අධිකරණය හමුවේ පෙනී සිටින අවස්ථාවක නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සුදුසු බවද විනිසුරුවරුන් පැවසුවා. අනතුරුව මෙම නඩුව සැප්තැම්බර් මස 22වනදා කැදවීමට නියම කෙරුණා.
The post අද්මිරාල් කරන්නාගොඩට එරෙහි චෝදනා පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරයි – නීතිපති appeared first on ITN News.
Post a Comment