හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී දැරියක මියයාමේ සිද්ධියට අදාළව ප්‍රකාශ 40 ක් පමණ මේ වන විට සටහන්කරගෙන ඇති බව පොලිසිය සදහන් කළා.
මීට පෙර ද විසිදෙහැවිරිදි කාන්තාවක් දූෂණය කිරිම සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මහතාගේ මස්සිනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
විද්‍යාත්මක තාක්ෂණික හා පර්යේෂණීය සාක්ෂි මගින් ඉස්මතු වූ කරුණු පැහැදිලි කර ගැනීම සදහා ඊයේ දිනයේදී ප්‍රකාශ දෙකක් සටහන් කරගෙන තිබෙනවා. විශේෂඥ අධිකරණ වෛද්‍ය මඩුල්ලක් විසින් මරණ පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බවයි පොලීසිය පැවසුවේ. එම මඩුල්ලේ වාර්තාව ඉදිරියේදී ලබාදීමට නියමිතයි.
මෙම දැරියට පෙර තවත් කාන්තාවන් දස දෙනෙකු පමණ 2009 වසරේ සිට රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කර තිබෙනවා. මෙම කාන්තාවන් ද රැගෙන විත් ඇත්තේ එකම තැරැව්කරු බවයි පරීක්ෂණවලදී අනාවරණය වුණේ. ඔවුන්ගෙන් දෙදෙනෙකු මේ වන විට මියගොස් ඇති බවද විමර්ශනවලදී හෙළි වුණා. ඒ අනුව ඉතිරි අට දෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට පොලිසිය කටයුතු කළා.
එම නිවසේ සේවය කළ විසිනව හැවිරිදි කාන්තාවක් කැලණිය ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටියදී සොයා ගැනීමෙන් පසු ඇයගෙන් කළ ප්‍රශ්න කිරීමකට අනුව හෙළි වූයේ රිෂාඩ් බදියුදීන් මහතාගේ මස්සිනා අතින් ඇයටද ලිංගික අතවරයක් සිදුව ඇති බවයි. විසිදෙහැවිරිදි කාන්තාවකටද අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මේ අතර ඉෂාලිනී ජුඩ් දැරියට සාධාරණය ඉටු කරන ලෙස බලකරමින් බගවන්තලාව බොගවාන වතුයායේ කම්කරුවන් පිරිසක් අද දිනයේද උද්ඝෝෂණයක නිරත වුණා. සැකකරුවන්ට අධිකරණය හමුවේ උපරිම දඩුවම් ලබාදෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටියේ.
The post රිෂාඩ්ගේ නිවසේ දී තවත් තරුණියක අතවරයට ලක්වූ බවට තොරතුරු appeared first on ITN News.
Post a Comment