පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් ඊයේ (25) සිට පොළොන්නරුව දිස්‍ත්‍රික්කයේ හා අම්පාර, අනුරාධපුර දිස්ත්‍රික්කයන්හි නීති විරෝධීව පවත්වාගෙන යනු ලැබූ අතරමැදි වී තොග ගබඩා වැටලීමේ හා මුද්‍රා තැබීමේ කටයුතු සිදු කරමින් පවතින බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.
එම කාර්යයයේ දෙවන දිනය වන අද මධ්‍යහ්න 12 වන විට අනුරාධපුර හා අම්පාර යන ප්‍රදේශයන්හි සිදු කළ වැටලීම් ද ඇතුළුව, නීති විරෝධී අතරමැදි වී තොග ගබඩා 20කට ආසන්න ප්‍රමාණයක් වටලා, මුද්‍රා තබා ඇති අතර අම්පාර චවලකඩේ ප්‍රදේශයේ පිහිටි මහා පරිමාණ වී තොග ගබඩාවක් ද මීට අයත් වේ.
මෙම නීති විරෝධී වී තොග ගබඩාවේ පවතින කිලෝ ලක්ෂ 30කට ආසන්න වන සමස්ත වී තොගයම රජයේ සහතික මිළ යටතේ වී අළෙවි මණ්ඩලයට ලබා දීම සඳහා එම ගබඩා හිමිකරු ස්ව කැමැත්තෙන් එකඟ වී ඇති අතර පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ඇතුළු වැටලීම් කණ්ඩායම විසින් වැඩිදුරටත් සිදු කරන ලද නිරීක්ෂණ වලින් පසුව මෙම සමස්ත වී තොගයම රැස් කර ඇත්තේ බියර් නිෂ්පාදන අමුද්‍රව්‍යයක් වශයෙන් බවට තහවුරු වී ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.
පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ඇතුළු කණ්ඩායම විසින් මෙම නීති විරෝධී අතරමැදි වී තොග ගබඩා මුද්‍රා තැබීමට ගත් තීරණය හේතුවෙන් ගබඩා හිමිකරුවන් කිහිපදෙනෙක්ම තමා සතු සම්පූර්ණ වී තොගයම රජයේ සහතික මිළට වී අළෙවි මණ්ඩලයට ලබා දීමට ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වී ඇති අතර මෙම වැටලීම් කටයුතු තවදුරටත් පාරිභෝගික සේවා අධිකාරියේ සෘජු මැදිහත් වීමෙන් යුතුව සිදු වෙමින් පවතින බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

The post නීති විරෝධී අතරමැදි වී තොග ගබඩා රැසකට මුද්‍රා තැබේ (Photos) appeared first on ITN News.
Post a Comment