සිය නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි 16 හැවිරිදි දැරියක පිළිස්සී මියයාමේ සිද්ධියේ සැකකරුවන් වන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්,ඔහුගේ බිරිඳ සහ මාමණ්ඩිය ලබන 17 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
සාක්ෂි යටපත් කිරීම ඇතුළු කරුණු රැසක් අද නඩුවෙදි හෙළි වුණා. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ දේශන පටිගත කරමින් සිටි බදියුදීන් මහතාගේ ලේකම්වරයාට මහේස්ත්‍රාත්වරිය තරයේ අවවාද කළා.
ජුඩ් කුමාර් ඉෂාලිනි නැමති දහසය හැවිරිදි දැරිය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටියදී පිළිස්සී මියයාමේ සිද්ධිය සම්බන්ධ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හමුවේ අද කැදවුවා. නඩුවේ පස්වන සැකකරු ලෙස නම් කර සිටින රිෂාඩ් බදියුදීන් මහතා ද බන්ධනාගාරයේ සිට අධිකරණය හමුවට රැගෙනවිත් තිබුණා. ඔහුට බන්ධනාගාරය අභ්‍යන්තරයේ පරීක්ෂණයක් සිදු කිරීම නිසා ඔහුගේ බිරිඳ හා මාමණ්ඩිය මෙම පරීක්ෂණවලට අදාල සාක්ෂි යටපත් කිරීමේ කටයුතුවලට සම්බන්ධ වී ඇති බවට සැක පළ කළ හැකි තොරතුරු හෙළි වී ඇති බැවින් ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ. කෙසේ වෙතත් රිෂාඩ් බද්යුදීන් මහතාගේ මස්සිනා සහ දැරිය එම නිවසට ගෙනවිත් භාරදුන් තැරැව්කරු ඇප මත මුදා හැරුණා. ඒ මස්සිනා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත සහ තැරැව්කරු රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් මත මුදා හැරීමටයි නියෝග කෙරුණේ. පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක් වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ ඉෂාලිනි දැරිය තමන් නොදන්නා බවත් ඇය සමඟ කතා කර නැති බවත් රිෂාඩ් බදියුදීන් විමර්ශන නිලධාරීන්ට ප්‍රකාශ කර ඇති බවයි.
බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකුට තර්ජනය කිරීම සහ බන්ධනාගාරය තුළ ජංගම දුරකතන භාවිත කිරීම තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේ. බන්ධනාගාරය ඉදිරිපිටදී දුරකතන ඇමතුමක් ගතහොත් ඇමතුම විසන්ධි වනවා. දුරකතන ඇමතුම් අවහිර කිරීම සඳහා එවැනි ප්‍රබල තාක්ෂණයක් බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වෙද්දී බදියුදීන් මහතා දුරකතන ඇමතුම් ලබා ගන්නේ කෙසේද යන්න බරපතල සැකයක් පවතින බවත් ඒ පිළිබඳ විමර්ශන සිදු කළ යුතු බවත් දිලීප පීරිස් මහතා පැවසුවා. දුරකතනය හසු වූ අවස්ථාවේ බදියුදීන් මහතා එය විසි කර ඇති බවත් පසුව බන්ධනාගාර නිලධාරීන් එය තම භාරයට ගෙන ඇති බවත් රාජ්‍ය බුද්ධි සේවය හරහා ඒ පිළිබඳ විමර්ශන සිදු කෙරෙන බවත් දිලීප පීරිස් මහතා කියා සිටියා.
මෙම විමර්ශනයට සම්බන්ධ නිලධාරීන් අපහසුතාවට පත් කිරීමේ අරමුණින් විවිධ පාර්ශ්ව හරහා බලපෑම් සිදු කෙරෙන බවට නිල නොවන තොරතුරු ලැබී ඇති බවයි ඒ මහතා දැනුම් දුන්නේ. ඇමතුම් වාර්තාවක් ලබා ගැනීම තුළින් මේ පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවනු වනු ඇති බවද ඔහු පෙන්වා දුන්නා. මීට පෙර වෙනත් නඩුවකට බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඔහු අත තිබූ දුරකතනය විසි කොට සාක්ෂි විනාශ කිරීමට ක්‍රියා කළ ආකාරයද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සිහිපත් කළා. දැරිය පිළිස්සීමේ සිද්ධිය යටපත් කිරීම සදහා ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් යොදා ගනිමින් රිෂාඩ් බදියුදීන්ගේ මාමණ්ඩිය ක්‍රියා කර ඇති ආකාරය සුව සැරිය ගිලන් රථ සේවයේ සටහන් පිරික්සීමේදී පැහැදිලිවම පෙනී යනබවද හෙළි කෙරුණා. එහිදී රුවන් පතිරණ නමැති පොලිස් සැරයන්වරයෙකු දැරියගේ නම ඉෂානි ලෙසත් වයස 18 ක් ලෙසත් ලබා දී තිබෙනවා. ගෑස් හේතුවෙන් දැරිය පිළිස්සී ඇති බවයි අදාළ සැරයන්වරයා ගිලන්රථ සේවයට දන්වා ඇත්තේ. ඔහු එසේ කර ඇත්තේ බදියුදීන්ගේ මාමණ්ඩියගේ මැදිහත්වීමෙන් බවද අධිකරණය හමුවේ හෙළි කෙරුණා. එහෙත් දැරියගේ සිරුරෙන් භූමිතෙල් ගදක් වහනය වූ බවට ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ වෛද්‍ය ටෙරන්ස් පෙරේරා මහතා ලබා දී ඇති කටඋත්තරයේ සඳහන් වනවා. අදාළ දැරිය තමන් පුළුස්සා ගත් බවට සටහනක් යෙදූ හදිසි අනතුරු ඒකකයේ වෛද්‍ය රන්දික හේෂාන් ප්‍රනාන්දු යන අය විදේශගතව අධ්‍යාපනය ලබන බවට දැනුම් දී ඇති බවත් ඔහුගෙන් ඉදිරියේදී ප්‍රකාශයක් ලබා ගන්නා බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. අදාළ නිවසේ සේවය කළ මොහොමඩ් රිස්වි නමැති රියදුරු ලබා දී ඇති ප්‍රකාශය මගින් හෙළි වී ඇත්තේ මෙම සිද්ධිය වැඩිදුර ගෙන නොයන ලෙසට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු දැරියගේ දෙමව්පියන්ට බලපෑම් කර ඇති බවයි. එම අවස්ථාවේ නීතිඥවරයෙකුද සැකකරුවන්ගේ නිවසේ සිට ඇති බවත් දැරිය ස්වභාවිකව පිළිස්සුනේනම් පොලිස් නිලධාරීන් හා නීතිවේදීන් සැකකරුවන්ගේ නිවසට පැමිණ මෙලෙස ක්‍රියා කළේ ඇයිද යන්න බරපතළ සැකයක් බවයි දිලීප පීරිස් මහතා සදහන් කළේ.
නඩුවේ හතරවන සැකකරු වන රිෂාඩ් බදියුදීන්ගේ මස්ස්නා භාරයේ තිබූ දුරකතනයක් විනාශ කර ඇති බවද මෙහිදී හෙළි වුණා. මේ තුලින් සැකකරුද පරීක්ෂණවලට අවශ්‍ය තොරතුරු නොදී වසන් කරන බවටයි චෝදනා කෙරුණේ. අනතුරුව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා බදියුදීන් මහතාගේ බිරිඳ වෙනුවෙන් ඇප ඉල්ලීම් ඉදිරිපත් කළා. අද දින අධිකරණ ශාලාවේ අසුන්ගෙන සිටි පුද්ගලයෙකු ජනමාධ්‍යවේදියෙකු බව හගවමින් ඉකුත් නඩු දිනයේ තම දේශනා පටිගත කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැමිණිලි කර සිටියා. එම පුද්ගලයා අධිකරණය හමුවට කැඳවා මහේස්ත්‍රාත්වරිය කළ විමසීමේදී සඳහන් කළේ තමා බදියුදීන් මහතාගේ ලේකම්වරයා බවයි. මාධ්‍යවේදියෙකු ලෙස ද තමන් කටයුතු කරන බව කී ෆර්සාන් අමීර් නමැති මෙම පුද්ගලයා ඊට අදාළ හැදුනුම්පතක්ද ඉදිරිපත් කළා. ඊට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත්වරිය අදාළ හැදුනුම්පත සත්‍ය එකක්ද යන්න සොයා බලන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් දුන්නා.
The post රිෂාඩ් බදියුදීන් ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ් appeared first on ITN News.
Post a Comment