Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පරිසර අමාත්‍යාංශයේ ජාතික පරිසර සභාව පත් කරයි  

Add comments

පාරිසරික සුරක්ෂිතතාවය උදෙසා පරිසර අමාත්‍යාංශය විසින් පත් කරනු ලබන ජාතික පරිසර සභාව සදහා වන නිලධාරි මණ්ඩලය ( 29 දින ) පත් කර තිබෙනවා.

ජාතික පරිසර සභාවට සාමාජිකයින් 25 දෙනෙක් අයත් වේ. මධ්‍යම පරිසර අධිකාරියේ දී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික පරිසර සභාව සඳහා පත් වූ සාමාජිකයින්හට පත්වීම් ලිපි පිරිනැමීම සිදු කරන ලද අතර ජාතික පරිසර සභාවේ 14 වන සැසිවාරය ද අද දින පවත්වනු ලැබීය.මෙහිදී නව පරිසර සභාවේ සාමාජිකයෙක් ලෙස ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් ද පත් කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පියවර ගත්තේය.

එමෙන්ම ජාතික පාරිසරික සභාවේ සභාපතිවරයා වශයෙන් පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පත් කරනු ලැබීය.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ, අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරු ද සහභාගි වූහ.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා පරිසරය සුරැකීම රජයට හෝ පරිසර අමාත්‍යාංශයට පමණක් කළ නොහැක්කක් බවත් ඒ සඳහා පරිසරය පිළිබඳ දැනුමක් ඇති විද්වතුන් මෙන්ම මහජනතාවගේ සහයෝගයද අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය.

පසුගිය දිනවල ඇති වු අධික වර්ෂාව හේතුවෙන් ගංගා , ඇළ දොළ හරහා සාගරයට විශාල ලෙස පොලිතීන් හා ප්ලාස්ටික් එක් වන බවට සාගරික පරිසර ආරක්ෂණ අදිකාරිය තහවුරු කර ඇතැයි ද සඳහන් කළේය. එහි වාර්තා අනුව වර්ෂාව නිසා සාගරයට ටොන් 250,000ක පමණ පොලිතීන් හා ප්ලාස්ටික් එක් ව ඇතැයි සඳහන් කර ඇතත්, එම සංඛ්‍යා ලේඛණ සම්බන්ධව නිවැරදි සොයා බැලීමක් කළ යුතුව ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වුවද පාරිසරික හානිය අවම කරලීම සඳහා නව අදහස් හා යෝජනා පරිසර අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස ද අමාත්‍යවරයා නව ජාතික පරිසර සභාවට පත් වූ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විවිධ ක්ෂේත්‍ර අතර සහයෝගිතාවයෙන් යුතුව පරිසරය සුරැකීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කළ යුතුයැයි සඳහන් කළේය. විශේෂයෙන් ලෝකයේ සෑම රටක්ම පාහේ පරිසර අමාත්‍යාංශය සුවිශේෂ අමාත්‍යාංශයක් ලෙස සළකන බවත්, පාරිසරික තිරසරභාවය උදෙසා මානව ක්‍රියාකාරකම්වලට අනුව පරිසරය සුරැකීම සඳහා අනුගමනය කළ යුතු පිළීවෙත් සකස් කිරීම පරිසර අමාත්‍යාංශයේ වගකීමක් බවත් කීය.

මෙහිදී ආදිවාසී නායක වන්නියලැත්තෝ ද අදහස් දැක්වීය.

කෙරෝනා රෝග තත්ත්වය ඇතිවීමට පෙර මම වාසය කරන ගමට අපි බලන්නට දවසට විශාල පිරිසක් එනවා. ඒ අය මගේ පරම්පරාව ගැන අහනවා. ඒ අතර සිටින තරුණ තරුණියන්ගෙන් මම අහන කාරණාවක් තියෙනවා. ඔබට ජීවත්වීමට උදව්කරන්නේ කව්ද කියළා. ඒ අය මට කියනවා අම්මයි තාත්තයි කියළා. මම ඒ අයට කියනවා ඔබට අම්මයි තාත්තයි කන්න අඳින්න දෙනවා. උගන්වනවා. විවාහ කරලා දෙනවා. සමහර විට රස්සාවක් කරන්නත් උදව් කරනවා. නමුත් ඔබව ජීවත් කරන්නේ කව්ද කියළා මමඅ හනවා . ඒ අය සමහර විට මම කියන දේ තේරුම් ගන්න බැහැ. අම්මා හා තාත්තා උදව් කරන එක ඇත්ත. ඒත් ජීවත් වෙන්න අවශ්‍ය හුස්ම ටික, වතුර ටික, කෑම අපිට දෙන්නේ සොබාදහම . සොබාදහම කරන එම සේවාව කිසි කෙනෙක් තවම අවබෝධ කරගෙන නැහැ. සොදහම නැතුව අපිට ජීවත් වෙන්න බැහැ. ඒ නිසා ජීවත්වෙන හැම කෙනෙක්ගෙන්ම මම ඉල්ලීම් දෙකක් කරනවා. පළමු ඉල්ලීම තමයි ඔබේ හැම උපන්දිනකයටම ලොකු උත්සව , කේක් කැපීම වැනි දේවල් වගේම අඩුම තරමින් පැළයක් රෝපණය කර ඒක රැක බලාගන්න. දෙවැන්න තමයි මැරුණට පස්සේ සිරුර ආදාහනය කරන්න එපා මහපොළවට දන් දෙන්න. භූමිදානය කියන වචනය හැදිලා තියෙන්නේ ඒ නිසයි. මහපොළවෙන් පෝෂණය වෙච්ච ශරීරය මහපොළවටම බාර දෙන්න. යැයි ද ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ වැඩි දුරටක් පැවසීය.

The post පරිසර අමාත්‍යාංශයේ ජාතික පරිසර සභාව පත් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG