යුක්රේනයේ කියෙව් අගනුවර අත්පත් කර ගැනීමට දිශා කිහිපයකින් එම ප්‍රදේශවෙත ලගා වී ඇති රුසියා හමුදා යළි සංවිධානය වෙමින් සිටින බව නවතම චන්ද්‍රිකා ඡායාරූප මගින් හෙළිව ඇති බව වාර්තා වනවා.
මොස්කව් නුවර සිට සියලුම හමුදා ප්‍රහාර තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත කිරීමට සූදානම් බව රුසියාව පවසනවා. යුක්රේනයේ කියෙව් අගනුවරට කිලෝමීටර් 5ක සීමාවට ආසන්න වූ රුසියා හමුදා එම ප්‍රදේශ අත්පත්කර ගැනීමට යළි සංවිධානය වෙමින් සිටින බව නවතම චන්ද්‍රිකා ඡායාරූපවලින් තහවුරු වී තිබෙනවා. නගරය දෙසට ඔවුන් සිටින ආකාරය ද දැකගත හැකි බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. යුද්ධයේ උපායමාර්ගික සන්ධිස්ථානයකට යුක්රේනය පැමිණ ඇති බව එරට ජනාධිපති විලෝදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කිරීමත් සමග එල්ලකරන ප්‍රහාර දැඩි කිරීමට රුසියාව පියවර ගෙන තිබෙනවා.
යුක්රේනය යුද්ධයේ උපායමාර්ගික සන්ධිස්ථානයකට පැමිණ ඇති බවට ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කිරීමත් සමග රුසියාව තම ප්‍රහාර දැඩි කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. යුක්රේනයේ බටහිර ප්රදේශයන්වන ලුට්ස්ක් ඉවැන්කෝ ප්රැන්කව්ස්කි සහ ජිනීපෝ නගරවලට එල්ලවන ප්‍රහාර ද දැඩි වෙමින් පවතිනවා. කාකිව් නගරයේ පාසල් 50ක් පමණ රුසියා ප්‍රහාර හේතුවෙන් විනාශයට පත්ව ඇති අතර මානසික රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන රෝහලකට ද ඔවුන් ප්‍රහාර එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ. කියෙව් අගනුවරින් පළායාමට උත්සාහ දරන පිරිස් රැගත් මෝටර් රථ ප්‍රහාර මධ්‍යයයේ දැඩි දුෂ්කරතාවලට මුහුණ පා ඇති බවද වාර්තා වනවා. කියෙව් ගුවන්තොටුපොල ආසන්නයටද ප්‍රහාර එල්ල වී තිබෙනවා.
මේ අතර යුක්රේනය පදනම් කරගනිමින් රුසියාවට එරෙහිව යුද නොවදින බව ඇමෙරිකා ජනාධිපති ජෝබයිඩ්න් ප්‍රකාශ කර තිබෙනවා. ඇමෙරිකාවේ මැදිහත්වීම මත නේටෝ සංවිධානය සහ රුසියාව අතර සෘජු ගැටුමක් වර්ධනය වුවහොත් එය තුන්වන ලෝක යුද්ධයේ ආරම්භය විය හැකි බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. පවතින තත්ත්වය හමුවේ රුසියාවට පනවා ඇති සම්බාධක තවදුරටත් දැඩි කොට ආර්ථික සහ දේශපාලනමය වශයෙන් හුදෙකලා කිරීම තම අරමුණ බව ඔහු වැඩිදුරටත් පවසනවා.
The post යුක්රේනය අල්ලන්න යළි සංවිධාන වන රුසියාව appeared first on ITN News.
Post a Comment