Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියානු ගුවන් යානයේ තහනම ඉවතට  

Add comments

එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් ගුවන් යානය සම්බන්ධයෙන් පනවා තිබූ වාරණ නියෝගය අත්හිටුවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය අද නියෝග කළා. ඒ අනුව කටුණායක ගුවන් තොටුපලේ නවතා තිබූ ඒ 330 ගුවන් යානයට ශ්‍රී ලංකාවෙන් මීට සුලු වේලාවකට පෙර පිටව ගියා.

පිස්කල් නිලධාරියා සමග ගුවන් පාලක මැදිරියට ඇතුළු වූ නීතිඥ අරුණ ද සිල්වා අධිකරණයේ බලය අයුතු ලෙස පරිහරණය කළේදැයි යන්න පිළිබද අද අධිකරණයේ දී දැඩිව කතාබහට ලක්වුණා. එමෙන්ම නීතිඥවරයා ගුවන් පාලක මැදිරියට ඇතුළුවීම තහවුරු කෙරෙන ඡායාරූප 14 ක් ද අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

නීතිඥ අරුණ ද සිල්වා බරපතල වරදක් කර ඇති බවට ද වාරණ නියෝගය අත්හිටුවමින් විනිසුරු වරයා අවධාරණය කර තිබුණා.

එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් ඒ 330 ගුවන් යානය පසුගිය දෙවනදා මොස්කව් නුවර සිට මෙරටට පැමිනියේ මගීන් 191 දෙනෙකු රුසියාවට රැගෙන යාමේ අරමුණෙන්. කොළඹ වාණිජ මහාධිකරණය නිකුත් කළ වාරණ නියෝගයකට අනුව එදින එම ගුවන් යානයට පිටත්ව යාමට කටුණායක ගුවන් තොටුපලේ ගුවන් පාලක මධ්‍යස්ථානය ඊට අවසර ලබාදුන්නේ නැහැ. අදාළ ගුවන් යානය මෙරට ගුවන් තොටුපොල තුළ රදවා ගැනීම සම්බන්දයෙන් අර්බුදකාරී තත්ත්වයක් ඇතිවූයේ ඉන් පසුවයි.

දෙරට අතර දිගු කාලයක් පුරා පවතින මිත්‍රශීලී සබදතාවලට මේ තුළින් අහිතකර බලපෑම් එල්ලවන බැවින් එය වළක්වා ගැනීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස රුසියා විදේශ අමාත්‍යාංශය ද දැනුම්දී තිබුනා. එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන්  රුසියානු රජය  දැඩි අප්‍රසාදය පළකළ අතර රුසියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා වානිජ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ද එරෝෆ්ලොට් ගුවන් සමාගම පියවර ගත්තා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශ අමාත්‍යාංශය හරහා රුසියානු රජයට දැනුම් දුන්නේ මෙය දෙරට අතර ගැටලුවක් නොවන අතර එය පෞද්ගලික නීතිමය ගැටලුවක් බවයි.

එම පසුබිම හමුවේයි  එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් ගුවන් යානයට අදාළ වාරණ නියෝගය සම්බන්ධයෙන් නීතිපතිවරයා කොළඹ වානිජ මහාධිකරණය හමුවේ මෝසමක් ගොනුකළේ.

නීතිපතිවරයා ඉදිරිපත් කළ මෝසම පිළිබද දීර්ඝව කරුණු සළකා බැලීමෙන් අනතුරුව කොලඹ වානිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා ගුවන් යානයට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය අත්හිටුවන ලෙස නියෝග කළා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශ්වය සත්‍ය වසන්කොට අධිකරණය නොමග යවා වාරණ නියෝලය ලබාගෙන ඇති බව සදහන් කළා.

මෙම නඩුව පසුගිය සිකුරාදා කැදවූ අවස්ථාවේ නඩුකරය හරහා රජයට හෝ කටුණායක ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම වෙත වාරණ නියෝගයක් නිකුත්කර නොමැතිබව විනිසුරුවරයා ප්‍රකාශ කර තිබුණා. එසේනම් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ අරුණ ද සිල්වා මහතා අධිකරණයේ පිස්කල් නිලධාරියා සමග කටුණායක අධිආරක්ෂක කලාපයේ පිහිටි ගුවන් ගමන් පාලක මැදිරියට ගොස් රුසියානු ගුවන් යානය පිටත්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත්කර තිබෙන බව දැනුම්දුන්නේ කෙසේදැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රශ්න කළා.

අධිකරණය තම සේවාදායක ගුවන් ගමන් පාලක වෙත වාරණ නියෝගයක් නිකුත්කර නොමැති අවස්ථාවක නීතිඥවරයෙකු හා පිස්කල් නිලධාරියෙකු මේ ආකාරයෙන් කටයුතු කළේ කෙසේදැයි ප්‍රශ්න කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ පිළිබද අධිකරණයේ අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටියා.

මෙම පිස්කල් නිලධාරියා සහ නීතිඥවරයා ගුවන් පාලක මැදිරිය වෙත පැමිණි ආකාරය තහවුරු කිරීම සදහා ඡායාරූප 14 ක් අඩංගු සංයුක්ත තැටියක් ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ඉදිරිපත් කළා. මෙහිදී විනිසුරුවරයා විවෘත අධිකරණයේ සදහන් කළේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සදහන් කළ කරුණු සත්‍ය නම් මෙම ක්‍රියාව හරහා අධිකරණයේ බලය අයුතු ලෙස පරිහරණය කිරීමක් සිදුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අයර්ලන්ත සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වෙත සිය බලවත් අප්‍රසාදය පළකළ විනිසුරු හර්ෂ සේතුංග මහතා නීතිඥවරයෙකුට මේ ආකාරයට කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවට චෝදනා කළා. නීතිඥවරයා සිදුකර තිබෙන්නේ බරපතල වරදක් බවත් මෙම කරුණ බැහැර කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බවත් විනිසුරුවරයා ප්‍රකාශ කළා.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වර්තමානයේ අධිකරණය නිකුත් කර ඇති වාරණ නියෝගය හරහා සිවිල් ගුවන් සේවා පනතේ 37 වන වගන්තිය උල්ලංඝනය වන බව පෙන්වා දුන්නා.

එම වගන්තිය හරහා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ගුවන් පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව මගින් පවරා ඇති බලතල මෙම වාරණ නියෝගය හරහා උල්ලංඝනය වන බව සදහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ හරහා රාජ්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය වීමක් සිදුවන බවත් එවැනි නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවටත් තර්ක කළා.

අයර්ලන්ත සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ වගඋත්තරකාර රුසියානු ගුවන් සමාගම වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් ද කරුණු ඉදිරිපත් කළා. සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේ.

මේ අතර රුසියානු ශ්‍රී ලංකා මිත්‍රත්වය රැක ගැනීම සදහා පැවැත්වූ සාමකාමී උද්ඝෝෂණයක් අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට දී පැවැත්වුණා. උද්ඝෝෂකයින් එහි සිට පාගමනින් රුසියානු තානාපති කාර්යාලය වෙත ගොස් ශ්‍රී ලාංකික ජනතාවගේ කණගාටුව පළකරමින් ලිපියක් භාරදුන්නා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශකර තිබුණේ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර තිබූ මිත්‍රශීලීත්වය පළුදුවන අවදානම් සහගත තත්ත්වයන් දැක තමා ඉමහත් කම්පාවට පත්වූ බවයි. තම පාලන කාලය තුළ මෙම ඓතිහාසික මිතුදම වඩාත් ශක්තිමත් කරගැනීමට හැකිවූ බව ඒ මහතා සදහන් කර තිබුණා.

පැරණි සමාජවාදි රටවල සහ රුසියාවේ විවිධ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවලින් උපාධි ලැබූ වෘත්තිකයින්ගේ සංවිධානයක් ද ගුවන් යානය රදවා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට ලිපියක් යොමුකර තිබුණා.

රුසියාවට ගුවන් මගින් යැවෙන තැපැල් භාණ්ඩ භාරගැනීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. මෙරටින් රුසියාවට වානිජ ගුවන් ගමන් නැවැත්වීම හේතුවෙනුයි මෙම පියවර ගෙන තිබෙන්නේ. ගුවන් ගමන් යථාතත්ත්වයට පත්වීමෙන් අනතුරුව රුසියාව වෙත තැපැල් භාණ්ඩ ප්‍රවාහනය ආරම්භ කරන බව තැපැල්පතිවරයා පවසනවා.

 

The post රුසියානු ගුවන් යානයේ තහනම ඉවතට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG