Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රට හමුවේ ඇති අභියෝගය නොබියව භාරගත් ජනපතිට සියලුදෙනාගේ සහාය හිමි විය යුතුයි – මහා සංඝරත්නය  

Add comments

රට ගැන ඇති වගකීමෙන් සියලුදෙනා බැහැර වූ අවස්ථාවක, රට ගැන සිතා එහි භාරදූර වගකීම භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය නිතැතින්ම හිමි වන බව රුවන්වැලි සෑය විහාරාධිපති, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ, රජරට නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ පැවසූහ.

අද (20) පෙරවරුවේ ඓතිහාසික අනුරාධපුර පුද බිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා රුවන්වැලි මහා සෑය විහාරාධිපති හිමියන් බැහැ දුටු අවස්ථාවේ කෙටි අනුශාසනාවක් සිදු කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

රනිල් වික්‍රමසිංහ මහතා රුවන්වැලි මහා සෑය චෛත්‍යරාජයාණන් වහන්සේ  අභියස පැවති විශේෂ ආගමික වතාවත්වලට ද සහභාගී වී ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව විහාරාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

එහිදී අනුශාසනාවක් කරමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරයාට රට භාර ගැනීමට සිදු වුයේ රට සියලු පැතිකඩයන්ගෙන් අගාධයට වැටි තිබූ මොහොතක බවයි.

ඉදිරියටත් රට වෙනුවෙන් ජනාධිපතිවරයා ගන්නා සියලු නිවැරදි තීන්දු තීරණවලට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බව සඳහන් කළ උන්වහන්සේ එම තීන්දු තීරණ ක්‍රියාත්මක කළ හැකි දක්ෂ හා නිවැරදි කණ්ඩායමක් තෝරා ගනිමින් ජනතා අපේක්ෂා මල් ඵල ගැන්වීම උදෙසා එකම අරමුණක් ඔස්සේ ඔවුන් මෙහෙයවීමේ වගකීම ජනාධිපතිවරයාට පැවරෙන බව ද සඳහන් කළහ.

අනතුරුව ලංකාරාම මහා විහාරය වෙත පැමිණි වික්‍රමසිංහ මහතා ලංකාරාමාධිකාරී උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසීය.‍

එහිදී කෙටි අනුශාසනාවක් කරමින් උන්වහන්සේ සඳහන් කළේ රට ගොඩනැගිය හැකි දර්ශනයක් හා වැඩපිළිවෙළක් සහිත ජනාධිපතිවරයාට රට ඉදිරියේ ඇති ආර්ථික අභියෝගය ජය ගැනීමට නියත වශයෙන්ම ශක්තිය ඇති බවය.

රට ආර්ථික වශයෙන් ගොඩගැනීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහයට සහාය දැක්වීම සියලුදෙනාගේ වගකීම බව පෙන්වා දුන් උන්වහන්සේ අසල්වාසී මිත්‍ර රාජ්‍යයන් අමනාප කරගත් අතීත වරද නිවැරදි කර ගනිමින් ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවයත්, රාජ්‍ය සේවය ක්‍රියාත්මක කිරීමේ දී අඩුවෙන් කතා කර, වැඩියෙන් වැඩකරන නිලධාරීන් කණ්ඩායමක් සමීප කර ගැනීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා වෙත පෙන්වා දුන්හ.

ජනාධිපතිවරයා දීර්ඝ කාලයක් කතා කළ ලිච්ඡවී රජ දරුවන්ගේ සප්ත අපරිහාණි ධර්ම ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව දැන් එළැඹ ඇති බව ද උන්වහන්සේ සිහිපත් කළහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන් අනතුරුව ථූපාරාම විහාරස්ථානය වෙත ගොස් විහාරාධිකාරී ශාස්ත්‍රපති අතිපූජ්‍ය කහල්ලේ ඥානීන්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ ද සුව දුක් විමසීය.

එහිදී ආගමික වතාවත්වල නිරත වූ වික්‍රමසිංහ මහතාට මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළහ.

මිරිසවැටිය රජමහා විහාරය වෙත ද පැමිණි ජනාධිපතිවරයා විහාරාධිකාරී අතිපූජ්‍ය ඊතලවැටුණු වැවේ ඤාණතිලක නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.

එහිදී විශේෂ අනුශාසනාවක් සිදු කරමින් උන්වහන්සේ සඳහන් කළේ රට හමුවේ තිබූ අභියෝග නොබියව භාර ගනිමින් අද රට නිවැරදි මාවතකට ගෙන යමින් සිටින ජනාධිපතිවරයාට සහාය දැක්වීමට සියලු පාර්ශ්වයන් හදවතින්ම ඒකරාශී විය යුතු බවයි.

එහිදී කිසිවිටෙකත් පක්ෂ පාට, ජාති, ආගම් බේද සැලකිල්ලට ගත යුතු නැතැයි ද පැවසූ උන්වහන්සේ හෘද සාක්ෂියට එකඟවම එය සියලුදෙනාට පැවරී ඇති ජාතික වගකීමක් බව ද   අවධාරණය කළහ.

උතුරු මැද ජනතාව දීර්ඝ කාලයක් පූරා අත්විඳින දුෂ්කරතා පිළිබඳව ද ඊතලවැටුණු වැවේ ඤාණතිලක හිමිපාණන් වහන්සේ ජනාධිපතිවරයා දැනුවත් කළහ. “උතුරු මැද ජනතාව ජාතික ආර්ථිකයට විශාල දායක්තවයක් සැපයුවත්, ජාතික සම්පත්වල ප්‍රතිලාභ එම ජනතාවට හිමි නොවීම ඛේදවාචකයකි. හෘද රෝග, වකුගඩු රෝග, පිළිකා වැනි බෝ නොවන රෝගවලින් එම ජනතාවගෙන් බොහෝ පිරිසක් පීඩා විඳිනවා”ඔවුන්ගේ ජීවිත සුවපත් කිරීම වෙනුවෙන් උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය කඩිනමින් නිමා කරන ලෙස මම ඉල්ලා සිටිනවා” යැයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

හිටපු අමාත්‍යවරුන් හාපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, ෂෙහාන්සේමසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු අමාත්‍යවරුන් වන දයාගමගේ, අනෝමා ගමගේයන මහත්මමහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

The post රට හමුවේ ඇති අභියෝගය නොබියව භාරගත් ජනපතිට සියලුදෙනාගේ සහාය හිමි විය යුතුයි – මහා සංඝරත්නය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG