Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොසොන් උදාව නිමිත්තෙන් ජනපති ප්‍රධානත්වයෙන් ආගමික වැඩසටහන් රැසක්  

Add comments

අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ පොසොන් පුර පසළොස්වක පොහොය සමරමින් සංවිධානය කෙරුණු ආගමික වැඩසටහන් රැසක් හෙට (27) දිනය පුරා ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැත්වෙයි.

හෙළ රජ දවස සිට දිවයිනේ ප්‍රධාන ආරණ්‍ය සේනාසනයක් වන දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පූර්ණ සංවර්ධනයකට ලක් කිරීමේ කටයුතු මේ වන විට ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ,පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ සිදු කෙරෙන අතර, ඒ අනුව රුපියල් ලක්ෂ 1500 ක මුදලක් වැයකරමින් ඉදිකළ නව පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සඟ සතු කොට පූජා කිරීම ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට උදෑසන සිදු කෙරේ.

මේ අතර සෑම පුන් පුර පසළොස්වක පොහෝ දිනකම දිවයිනේ ප්‍රධාන විහාරස්ථානයක් කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන ,ජනපති සදහම් යාත්‍රා, ධර්ම දේශනා මාලාවේ පොසොන් පුර පසළොස්වක පොහෝ දින දම් සභාව හෙට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ ද ඓතිහාසික දිඹුලාගල රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමිනි.

පොසොන් උදාව නිමිත්තෙන් දිවයිනේ නන් දෙසින් පොළොන්නරුව පූජා භූමියට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවත් ජනතාවට ආහාරවලින් සංග්‍රහ කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සභාපතිත්වය දරන පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පොසොන් මහා බත් දන්සැල 58 වන වරටත් 27 සහ 28 දෙදින පුරා පොළොන්නරුව පැරකුම් සමුදුර අභියසදී පැවැත්වේ.

මහා සංඝරත්නය විෂයෙහි දානය පිළිගැන්වීමෙන් අනතුරුව හෙට බත් දන්සැල විවෘත කෙරෙන්නේ ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි.මේ අතර පුලතිසිපුර ඒකාලෝක කරමින් ඓතිහාසික පොළොන්නරුව ගල් විහාරය කේන්ද්‍රකරගනිමින් පැවැත්වෙන ,පුලතිසි පොසොන් උදානය, වැඩසටහන හෙට පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

නෙල්ලිගල රාජ මහා විහාරස්ථානයේ සිට ඓතිහාසික ගල් විහාරය වෙත වැඩම කරවන ලද සර්වඥධාතුන් වහන්සේලා මහජනතාවගේ වන්දනාමානය උදෙසා විවෘත කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරේ.

ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව 56 වැනි වරටත් ජූනි 26,27 සහ 28 දිනවලදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන අතර හෙට දින ආලෝක පූජාව විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කිරීමට නියමිත අතර මහින්තලා පුදබිමේ නිර්මාණය කෙරුණු සම්බුදු සිරිපා ශෛලමය අනුරුව ද ජනතාවගේ පුද පූජා සඳහා නිරාවරණය කෙරෙන්නේ ජනාධිපතිතුමා අතිනි.

මේ අතර පොළොන්නරුව නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ප්‍රධානතම සංස්කෘතික මංගල්‍යය වන පොළොන්නරුව ඓතිහාසික පොසොන් මහා පෙරහැර 28 වනදා රාත්‍රියේ වීදි සංචාරය කෙරෙන අතර පෙරහැරේ සමාරම්භය සනිටුහන් කරමින් චිරාගත සම්ප්‍රදායානුකූලව මංගල හස්ති රාජයා මත කරඩුව තැන්පත් කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG