Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ව්‍යාපෘති 180 ක් ජනගත කිරීම අද සිට තෙදිනක් පුරා  

Add comments

පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ජනතා හිතසුව පිණිස සිංහල රජ දවසින් පසු කි‍්‍රයාත්මක කර ඇති යෝධ සංවර්ධන සැලැස්ම වන “පිබිදෙමු පොළොන්නරුව” ව්‍යාපෘතිය යටතේ වැඩ අවසන් කර ඇති තවත් සංවර්ධන ව්‍යාපෘති 180 ක් ජනගත කිරීම අගෝස්තු 1, 2 සහ 3 යන දිනයන්හි පොළොන්නරුවේ දී සිදු කෙරේ. ජනපති, අගමැති, ඇමතිවරුන්, විද්වතුන් හා කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් අදාළ ජනගත කිරීම් සිදු කිරීමට සැලසුම් කර ඇත.

මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ රටේ හයවන ජනාධිපතිවරයා ලෙස තේරි පත්වීමෙන් පසු 2015 වසරේදී ආරම්භ කරන ලද “පිබිදෙමු පොළොන්නරුව” ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු සඳහා වෙන් කර ඇති මුදල රු. කෝටි 6000 කි. එය පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ සංවර්ධනය උදෙසා සිංහල රජ දවසින් පසුව වෙන් කර ඇති දැවැන්තම මුදල වේ. එමගින් දිස්ති‍්‍රක්කය පුරා සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට සම්පූර්ණ කර ජනගත කර ඇති අතර, මෙම දින තුනක කාලය තුළ පමණක් ජනගත කිරීමට අපේක්ෂා කරනු ලබන්නේ තවත් ව්‍යාපෘති 180කි.

මෙමගින් වැඩිම ප‍්‍රතිලාභ අත්කර දෙනු ඇත්තේ රටේ අනාගතය බාරගැනීම සඳහා සූදානමින් සිටින දූ දරුවන් වෙතයි. ඒ අනුව පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ වත්මන් හා අනාගත පරපුර වෙනුවෙන් සිදුකරන දැවැන්තම ආයෝජනයේ තවත් එක් අදියරක් මෙමගින් සපුරා තිබෙන අතර පාසල් 85 ක භෞතික සම්පත් සම්පූර්ණ කරමින් පන්ති කාමර ගොඩනැගිලි, සම්පත් මධ්‍යස්ථාන, තාක්ෂණික උපදේශන ඒකක, විදුහල්පති හා ගුරු නිල නිවාස, බහුකාර්ය ගොඩනැගිලි ආදී වශයෙන් පුළුල් පරාසයක විහිදෙන අවශ්‍යතා සපුරා දී තිබේ. පාසල් අධ්‍යාපනයට අයත් මෙම ව්‍යාපෘති 110 සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 665 කි.

සෞඛ්‍ය සම්පන්න නිරෝගි ජනතාවක් උදෙසා දිස්ති‍්‍රක්කය පුරා බටහිර හා ආයුර්වේද රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමේ කි‍්‍රයාන්විතයෙහි තවත් එක් අදියරක් සම්පූර්ණ කරමින් රුපියල් මිලියන 890 ක් වැය කරමින් ඉදිකර ඇති ව්‍යාපෘති 15 ක් මේ යටතේ ජනතා අයිතියට පැවරේ.

හිඟුරක්ගොඩ දිස්ති‍්‍රක් රෝහලට අලුතින් එක්කර ඇති වකුගඩු රෝගී සායන ගොඩනැගිල්ල, දන්ත හා ශල්‍ය වෛද්‍ය ඒකකය, බකමූණ රෝහලෙහි පරිපාලන ඒකක ගොඩනැගිල්ල හා වකුගඩු සායන ගොඩනැගිලි, මනම්පිටිය රෝහලෙහි බාහිර රෝගී අංශය සඳහා සහ සායනික කටයුතු සඳහා ඉදිකළ ගොඩනැගිල්ල, මනම්පිටිය ආයුර්වේද රෝහලෙහි නව වාට්ටු ගොඩනැගිල්ල සහ අරලගංවිල රෝහලෙහි නව රසායනාගාර හා සුවදිවි ගොඩනැගිල්ල මෙන්ම දිස්ති‍්‍රක්කය පුරා රෝහල් කිහිපයක වෛද්‍ය නිලධාරි කාර්යාල සමඟ අනෙකුත් අවශ්‍යතා ඒ අනුව සම්පූර්ණ කර තිබේ.

උණගලා වෙහෙර, පුදුර් ඇතුළු ප‍්‍රදේශ තුනක පානීය ජල සම්පාදන ව්‍යාපෘති තුනක් සඳහා මෙන්ම රුපියල් දස ලක්ෂ 191 ක වියදමින් හිඟුරක්ගොඩ හා තමන්කඩුව යන ප‍්‍රදේශවල අඩු ආදායම්ලාභීන් සඳහා ඉදිකළ නිවාස ව්‍යාපෘති 15 ක් සහ රජයේ නිලධාරින් සඳහා ඉදිකරන ලද නව නිවාස ද මේ යටතේ සම්පූර්ණ කර ඇත.

පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ජනතාව මූලික කර ගනිමින් සහ රටේ අනෙකුත් ප‍්‍රදේශවලින් පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා දිස්ති‍්‍රක්කයේ පොදු පහසුකම් නංවාලීම යටතේ ව්‍යාපෘති 09 ක ඉදිකිරිම් අවසන් කොට තිබේ. මැදිරිගිරිය නගරයේ නව බස් නැවතුම්පොළ හා හිඟුරක්ගොඩ දෙමහල් වෙළෙඳ සංකීර්ණය ලංකාපුර ඉදිකර ඇති පේ‍්‍රක්ෂකයින් 800 කට අසුන්ගත හැකි රංග ශාලාව ද මෙයට ඇතුළත්ය.

එයට අමතරව පොළොන්නරුව නව මහනගර සභා ගොඩනැගිල්ල, ලක්ෂඋයන ප‍්‍රජා ශාලාව, මනම්පිටිය හෙළ බොජුන් හළ වැනි ව්‍යාපෘති සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 343 කි.

පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පිහිටි බෞද්ධ, හින්දු හා ඉස්ලාම් පූජනීය ස්ථානවල සංවර්ධනය වෙනුවෙන් සම්පූර්ණ කර ඇති ව්‍යාපෘති 15 ක් සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 55 කි. ඒ යටතේ දිස්ති‍්‍රක්කයේ විහාරස්ථාන ගණනාවකට නව සංඝාවාස, ධර්මශාලා, භික්ෂු නේවාසිකාගාර, දාන ශාලා ඇතුළු මූලික අවශ්‍යතා ගණනාවක්ම සපුරාලීමට කටයුතු කර ඇති අතර, හින්දු හා ඉස්ලාම් පූජනීය ස්ථාන ගණනාවකම ප‍්‍රතිසංස්කරණ කටයුතු මෙන්ම නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ඒ යටතේ කටයුතු කර තිබේ.

එමෙන්ම නවීන තාක්ෂණික පහසුකම්වලින් යුත් නගරයක්, යල මහ දෙකන්නයේම නොකඩවා වගා කීරීමට ජලය සැපයීමට හැකි වන පරිදි වාරි ප‍්‍රතිසංස්කරණය, ජාතියේ ප්‍රෞඪ ඉතිහාසය මේ යැයි කියාපාන දැවැන්ත කෞතුකාගාරයක්, නාට්‍ය සංගීත ඇතුළු කලාවන්හි සුපෝෂණය සඳහා රංග ශාලා, ක්‍රීඩාංගණ හා කී‍්‍රඩා පිටි යනාදි වශයෙන් ජනතා අවශ්‍යතා ඉලක්ක කරගත් මහා සංවර්ධනයක් දියත්වී තිබේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG