Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නියඟයෙන් පීඩාවට පත්වූවන්ගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීමට කැබිනට් අනුමැතිය  

Add comments

නියඟයෙන් පීඩාවට පත් කාන්තාවන්ට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබා දුන් ණය කපා හැරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා. රුපියල් ලක්ෂය දක්වා වූ ණය මුදල් මෙසේ කපා හැරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ සන්දේශයටයි මෙසේ අනුමැතිය හිමිවුණේ.

මෑතකාලීනව ඇති වූ නියඟය හේතුවෙන් කන්න පහක් එක දිගට හානිවූ දිස්ත්‍රික්ක 12ක කාන්තාවන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබා ගෙන ඇති පරිභෝජනය සඳහා නොවන ණය මේ අනුව කපා හැරෙනු ඇති. ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, යාපනය, මුලතිව්, කිලිනොච්චිට, වව්නියාව, මන්නාරම, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල කාන්තාවන්ට මෙම සහනය සැලසෙනවා. අදාල ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ඉදිරියේ දී ලබා දෙන සියලු ණය වෙනුවෙන් සියයට 30ක පොලිය උපරිමයකට යටත් කිරීමට ද රජය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහබැංකුවේ සහ ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ ලියාපදිංචිකර ඇති මූල්‍ය ආයතන මගින් ලබා දී ඇති පාරිභෝගික නොවන ක්ෂුද්‍ර මූල්‍ය ණය මෙසේ කපා හැරෙනු ඇත. මෙම ණය සඳහා අයවිය යුතු පොලිය අදාල ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් කපා හැරිය යුතුයි. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබා දුන් රුපියල් ලක්ෂයක් දක්වා වූ ණය මුදල් මහා භාණ්ඩාගාරය මගින් අදාල ආයතන වෙත ප්‍රතිපූර්ණය කෙරේ. ඒ වෙනුවෙන් ද රුපියල් මිලියන පන්සියයක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව වෙත වෙන් කර තිබෙනවා. මෙම ණය සහන ලාභීන්ට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා පොලී සහනාධාර වැඩසටහන යටතේ ණය ලබා ගැනීමේ ප්‍රමුඛත්වය ලබා දීමට ද තීරණය කර තිබෙනවා. ණය ගෙවීමට වසර 2ක සහන කාලයක් හිමිවනු ඇති. එමෙන්ම සමූපකාර සමිති හරහා ක්‍රියාත්මක ග්‍රාමීය ආර්ථිකය නැංවීමේ වැඩසටහන්වලදී ද මෙම ප්‍රතිලාභීන්ට ප්‍රමුඛත්වය හිමිවනවා.,ඇතැමුන්ට ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබා ගත් ණය වෙනුවෙන් අධික පොලියක් ගෙවීමට සිදුව තිබෙනවා.

මේ අතර ක්ෂුද්‍ර මූල්‍ය නියුක්තිකයන් සඳහා වූ ආචාරධර්ම මාලාව එළිදැක්වීම අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම ආචාර ධර්ම මාළාව ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට ගෞරවාන්විත ව්‍යාපාර පවත්වාගෙන යාමට ද ඉවහල් වනවා.

රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG