Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාවේ පළමු සංචාරක හිතකාමී ත්‍රිරෝද රථ සේවාව දියත් කිරීමට පියවර  

Add comments

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිදු කරනු ලබන සංචාරකයන්ට හිතකාමි ත්‍රිරෝද රථ සේවාවක් හඳුන්වා දීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (30 ) සවස 5.30ට කොළඹ ගාලු මුවදොර පිටියේ දී සිදු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන අතර මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය වසරේ ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවකට අනුකූලව මෙම වැඩසටහන දියත් කොට ඇත.

මේ යටතේ සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ලබා දෙන ලද සංචාරක හිතකාමී ත්‍රිරෝද රථ පුහුණුව සාර්ථකව නිම කරන ලද රියැදුරන් 150 දෙනෙකුට ඊට අදාළ මුද්‍රාව සහ සහතිකපත් සංකේතාත්මකව පිරිනැමීම මෙම උත්සවයේ දී සිදු කෙරේ. එම මුද්‍රාව එම රියැදුරන්ට තම ත්‍රිරෝද රථවල ප්‍රදර්ශනය කිරීමට ඉඩ ලැබෙන අතර එමගින් සංචාරකයන්ට එම රියැදුරන් පහසුවෙන් හඳුනා ගැනීමටත්, ඔවුන්ගේ සේවාව ලබා ගැනීමටත් අවස්ථාව සැලසේ.

මේ වන විට කොළඹ, ඇල්ල, බෙන්තොට සහ දෙණියාය යන ප්‍රදේශවල ත්‍රිරෝද රථ රියැදුරන් 750කට ආසන්න ප්‍රමාණයක් මෙම පුහුණුව අවසන් කර ඇති අතර ඔවුන්ට ද ඉදිරි කාලය තුළ මෙම මුද්‍රාව සහ සහතිකපත් ලබා දීමට නියමිතය. එමෙන්ම සංචාරක හිතකාමී ත්‍රිරෝද රථ රියැදුරන් සඳහා වෙන්වූ හැඳුනුම්පතක් ලබා දීමට සංචාරක සංවර්ධන අධිකාරිය කටයුතු යොදා ඇත.

ත්‍රිරෝද රථවලට අමතරව අවන්හල් සඳහාත්, සංචාරක සත්කාරක නිවාස සඳහාත් මෙම සංචාරක හිතකාමි මුද්‍රාව ඉදිරියේ දී ලබා දීමට කටයුතු කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.

ජූලි 30 වැනිදා සවස පවත්වන උත්සවයෙන් අනතුරුව මෙම ත්‍රිරෝද රථ නව මුද්‍රාව ද සහිතව කොළඹ නගරයේ ප්‍රදර්ශනාත්මකව ගමන් කරනු ඇත.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG