
හිටපු අග්‍රාමාත්‍ය , ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 59 වන ගුණසමරුව අද(26)යි. ඒ මහතාගේ සහ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ මෙන්ම හිටපු කතානායකවරයෙකු වූ අනුර බණ්ඩාරනායක මහතාගේ ගුණසැමරීම ද අද (26) සිදුකෙරුණා.
ආසියාවේ රිදී සීනුව යන විරුදාවලිය ලත් එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන් දේශපාලනයට පිවිසියේ එක්සත් ජාතික පක්ෂයෙන්. ඒ කොළඹ මහනගර සභාවට තරගවදිමින්. පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවූ ඔහු එක්දහස් නවසිය පනස් හයේ මහ මැතිවරණය ජය ගෙන අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණා. සඝ, වෙද,ගුරු,ගොවි, කම්කරු යන පංච මහා බලවේග පෙරටුකොට විප්ලවීය වෙනසක් ඇති කිරීමට ඒ මහතා කටයුතු කළේ සමාජයට සැබෑ පූර්වාදර්ශයක් ගෙන දෙමින්. තම සේවය සඳහා බණ්ඩාරනායක මහතා ගුරුකොට ගත්තේ මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම යන්නයි. සාහසිකයෙකුගේ වෙඩි පහරින් ඒ මහතා ඝාතනයට ලක්වූයේ එක්දහස් නවසිය පනස් නවයේ සැප්තැම්බර් විසි හයවනදායි.
එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 59 වන ගුණසමරුවට සමගාමීව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සහ අනුර බණ්ඩාරනායක මහතාගේ ගුණ සැමරීම ද සිදුකෙරුණා. හොරගොල්ල සමාධිය අසලදීයි සැමරුම් උත්සවයක් පැවැත්වුණේ. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් පුෂ්පෝපහාර දැක්වූවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පුෂ්පෝපහාර දැක්වූවා. කතානායක කරූ ජයසූරිය මහතා සහ මංගල සමරවීර, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, යන අමාත්‍යවරුන් ඇතුළු ජනතා නියෝජිතයින් රැසක් ද ඊට එක්වුණා. ආබාධ සහිත වූවන් සඳහා රෝද පුටු ප්‍රදානයක් ද සිදුකෙරුණා.
Post a Comment