Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සංහිඳියා වොලිබෝල් ශූරතාවය යාපනය ‘බෙයා ෆුට්’ කණ්ඩායමට  

Add comments

අගෝස්තු 31 වන දින මොනරාගලදී සමාප්තිය සනිටුහන් කළ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයෙහි පැවැත්වූ සංහිඳියා කුසලාන පාසල් වොලිබෝල් තරගාවලියේ ශූරතාවය යාපනය, පුත්තූර්, සෝමස්කන්දා විද්‍යාලයීය වොලිබෝල් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.
මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුබද්ධව ඉදි කර තිබූ ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදශනය භූමිය තුළ මෙම තරගය පැවැත්විණි.
අවසන් තරගය පැවැත්වුණේ යාපනය දිස්ත්‍රික් ශූරතාවය දිනූ යාපනය, පුත්තූර්, සෝමස්කන්දා විද්‍යාලය සහ මොනරාගල දිස්ත්‍රික් ශූරතාවය දිනූ මොනරාගල මහානාම ජාතික පාසල අතරය. තරග වට 5 කින් සමන්විත අවසන් තරගය 3:1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට යාපනය, පුත්තූර්, සෝමස්කන්දා විදුහල් කණ්ඩායම සමත්විය.
ජයග්‍රාහී කණ්ඩායම තරග කළේ ක්‍රීඩා සපත්තු නොපැළැඳ හෙවත් බෙයා ෆුට් ලෙස වීම විශේෂත්වයකි.
පළමු වටය මොනරාගල මහානාම ජාතික පාසල් කණ්ඩායම 25:22 ක් ලෙස ජයග්‍රහණය කළ නමුත්, ඉන් පසු පැවැති තරග වට තුනම 25:23, 25:21 සහ 25:20 වශයෙන් ජය ගෙන අවසන් තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගන්නට යාපනය, පුත්තූර්, සෝමස්කන්දා විදුහල් කණ්ඩායම සමත් විය.
ජයග්‍රාහකයන්ට ජය සංකේත ප්‍රදානය කිරීම මේ අවස්ථාවේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතින් සිදු විය. “ජාතික සංහිඳියාව ගොඩ නැඟීමට ක්‍රීඩාව පාලමක් බවත්, රටේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව ඒ සඳහා යොදා ගැනීම අගය කළ යුතු බවත් සියඹලාපිටිය මහතා මෙහිදී පැවසීය.
මේ අවස්ථාව සඳහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ. ආර්. දේශප්‍රිය මහතා සහ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ එම් පී එම් බී අතපත්තු මහතා ඇතුළු  නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG