Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනපති සහ නේපාල අගමැති හමුවෙයි  

Add comments

ශ‍්‍රී ලංකාව සහ නේපාලය අතර සමීප සබඳතාවයක් ගොඩනගා ගනිමින් දෙරටේම පොදු ජනතාවගේ යහපත උදෙසා අන්‍යෝන්‍ය සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමට දෙරටේ නායකයෝ එකඟ වෙති.

බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමට නේපාලයට ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ නේපාල අග‍්‍රාමාත්‍ය කේ.පී. ඕලි මහතා අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා ඊයේ (01) පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී නායකයින් මේ පිළිබඳ සාකච්ඡා කළහ.

කත්මණ්ඩු නුවර අග‍්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා නේපාල අග‍්‍රාමාත්‍යවරයා විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

ශ‍්‍රී ලංකාව සහ නේපාලය අතර ද්විපාර්ශ්වික සබඳතා සෑම ක්ෂේත‍්‍රයක් තුළින්ම තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිිබඳ එහිදී නායකයින්ගේ අවධානය යොමු වූහ.

දෙරට අතර වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙන්ම දෙරට අතර පවතින ඒකාබද්ධ කොමිසමේ කටයුතු සකී‍්‍රය කර ගනිමින් වඩා සමීප සබඳතාවයක් ගොඩනගා ගැනීම පිළිබඳව එහිදී නායකයින්ගේ අවධානය යොමු විය.

එමෙන්ම ලුම්බිණිය වැඳපුදා ගැනීමට පැමිණෙන ශ‍්‍රී ලාංකික බැතිමතුන්ගේ පහසුකම් පුළුල් කර ගැනීම පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමා නේපාල අග‍්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කළේය.

ජාත්‍යන්තර වේදිකාවේ දී වඩා සමීපව කටයුතු කිරීමට ද දෙරටේ නායකයින් ප‍්‍රතිඥා දුන් අතර කලාපීය කටයුතුවලදී ද වැඩි සහයෝගයකින් කටයුතු කිරීමට එකඟ වූහ.

බිම්ස්ටෙක් සංවිධානයේ කටයුතු පිළිබඳව ද මෙහිදී නායක දෙපළ අතර විශේෂ සාකච්ඡාවට බඳුන් වූ අතර බිම්ස්ටෙක් සංවිධානයේ නව සභාපති ධූරයට පත්වීම පිළිබඳ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට සිය උණුසුම් සුබපැතුම් පිරිනැමූ නේපාල අග‍්‍රාමාත්‍යවරයා එම කටයුතු සාර්ථක කර ගැනීමට තම උපරිම සහය ලබාදෙන බව ද ප‍්‍රකාශ කළේය.

එමෙන්ම අත්දැකීම් බහුල පරිණත දේශපාලනඥයෙකු ලෙස බිම්ස්ටෙක් සංවිධානයේ කටයුතු ඉතා ශක්තිමත්ව සහ අර්ථවත්ව ඉදිරියට මෙහෙයවීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට හැකියාව ලැබෙනු ඇති බවට ද අග‍්‍රාමාත්‍යවරයා සිය විශ්වාසය පළ කළේය.

නේපාලයේ පැවති බිම්ස්ටෙක් හතරවන රාජ්‍ය නායක සමුළුව ඉතා සාර්ථක අන්දමින් පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳවත් එහිදී දැක්වූ ඉහළම ආගන්තුක සත්කාර පිළිබඳවත් නේපාල අග‍්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කළේය.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG