Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජගත් මහා මණ්ඩලය ඇමතීමට ජනපති ඇමෙරිකාවට  

Add comments

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73වන සැසි වාරය ඇමතීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇමෙරිකාව බලා අද (22) රාත්‍රියේ පිටත්ව යාමට නියමිතයි. ජනාධිපතිතුමන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතන හතරවන අවස්ථාව මෙයයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ දී පැවැත්වෙනවා. එක්සත් ජාතීන් සියලුම ජනතාවට සමීප කරවීම හා සාධාරණ සාමකාමී සහ තිරසර සමාජයක් සදහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම තේමාව යටතේයි මෙවර සැසිය පැවැත්වෙන්නේ. එහි ප්‍රධාන සැසිවාරය ලබන 25 වනදා ආරම්භ කෙරෙන අතර එදින පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සැසි වාරය අමතා සිය විශේෂ දේශනය පැවැත්වීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රි ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන ලෙස කටයුතු කිරීම පිළිබද එක්සත් ජාතීන්ගේ  මහා මණ්ඩලයට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා මීට පෙර සදහන් කළා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල ප්‍රධාන සැසිවාරයට සමගාමීව පැවැත්වෙන ගෝලීය සාමය සදහා වූ නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව ලබන 24 වනදා පැවැත්වෙනවා. එම සමුළුව ඇමතීමට ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත ආරාධනා ලැබී තිබෙනවා. ලෝක මත්ද්‍රව්‍ය ගැටලුව පිළිබද ගෝලීය ක්‍රියාමාර්ගයක් සදහා වූ විශේෂ හමුවට ද ජනාධිපතිතුමා සහභාගී වීමට නියමිතයි. ක්ෂය රෝගය මැඩලීමේ ව්‍යාපාරය සදහා වූ සැසියක් සියලු රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් ලබන 26 වනදා පැවැත්වෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පවත්වන බෝ නොවන රෝග පිළිබද සමුළුව ලබන 27 වනදා පෙරවරුවේ ආරම්භ කෙරෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් පුළුල් මෙහෙවරක නිරතවූ රාජ්‍ය නායකයෙකු ලෙස එම සමුළුවේ විශේෂ දේශනයක් සදහා ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත ඇරයුම් ලැබී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ආරම්භ කිරීමට නියමිත නව අරමුදලට අදාළ ගිවිසුමට අත්සන් තැබීම ද ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේ දී සිදුවන තවත් සුවිශේෂී කාර්යයක්. මේ අතර සැසි වාරයට සහභාගී වන රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමග ජනාධිපතිතුමා සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

 

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG