Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ගුණසමරුව හෙට  

Add comments

හිටපු අග්‍රාමාත්‍ය  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 59 වැනි ගුණසමරුව හෙටට යෙදී තිබෙනවා.

ආසියාවේ රිදී සීනුව යන විරුදාවලිය ලත් එස්. ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන් දේශපාලනයට පිවිසියේ එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ මහනගර සභාවට තරගවදිමින්. පසුව එක්දහස් නවසිය පනස් එකේදී ඔහු එම පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවාගත්තා. එක්දහස් නවසිය පනස් හයේ මහ මැතිවරණය ජයගත් බණ්ඩාරනායක ශ්‍රීමතාණන් අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණා. සඝ වෙද, ගුරු, ගොවි,  කම්කරු යන පංච මහා බලවේග පෙරටුකොට විප්ලවීය වෙනසක් ඇති කිරීමට ඒ මහතා කටයුතු කළේ සමාජයට සැබෑ පූර්වාදර්ශයක් ගෙන දෙමින්. තම සේවය සඳහා බණ්ඩාරනායක මහතා ගුරුකොට ගත්තේ  මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම යන්නයි. සාහසිකයෙකුගේ වෙඩි පහරින් එක්දහස් නවසිය පනස් නවයේ සැප්තැම්බර් විසි හයවනදා ඒ මහතා  ඝාතනයට ලක්වන විට හැට වන වියෙහි පසුවුණා.

බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 59 වැනි ගුණසමරුව හොරගොල්ල සමාධිය අසල දී හෙට පැවැත්වෙනවා. මේ අතර විශේෂ ගුණසමරු උත්සවයක් කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ හා හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහතාගේ ගුණ සැමරීමට ද කටයුතු යොදා තිබෙනවා. එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ගුණසමරු දේශනය පවත්වන්නේ  පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතායි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ගුණ සමරු දේශනය පවත්වනවා. බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා අනුර බණ්ඩාරනායක මහතාගේ ගුණ සමරු දේශනය පැවැත්වීමට නියමිතයි. බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය හා බස්නාහිර පළාත් සභාවයි උත්සවය සංවිධානය කරන්නේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG