Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රාවණට පරාජය වූ කල්පිත පක්ෂියා ” ජතායු “  

Add comments

ඉතිහාසයේ වරින් වර නිර්මාණය කරන කල්පිතයන් පුරාවෘත්තයන් කෙරෙහි අප දක්වන්නේ විශාල කැමැත්තක්. ඒ අතරින් වාල්මිකිගේ රාමායණයේ එන ජතායු ( Jatayu ) නම් මන:කල්පිත පක්ෂියා ගැනයි මේ සටහන.

 

 

ජතායු කියන්නේ අරුණ නම් දෙවියන්ගේ බාලම පුත්‍රයා. ඔහුගේ සහෝදරයා සම්පාති රාම කුමාරයාගේ පියා වන දශරථගේ පැරණි මිතුරෙක්. රාමායණය අනුව රාවණා රජු විසින් සීතා කුමරිය පැහැරගෙන යන විට ඇයව බේරා ගැනීමට උත්සාහ කරන්නේ මේ ජතායු විසින්. ජතායු සහ රාවණ රජු අතර දරුණු සටනක් ඇති වෙනවා. එහිදී රාවණට ජය අත්වෙන අතර ජතායු දරුණු තුවාල ලබනවා.

 

 

මේ අතර සීතා කුමරියව සොයමින් එන රාම සහ ඔහුගේ සොයුරු ලක්ෂ්මණට  සීතාව සොයමින් යන ගමනේදී ඉතාම දුකට හා පීඩාවට පත්ව මිය යමින් සිටින ජතායුව  මුණ ගැසෙනවා. සිදු වූ සියල්ල අකුරක් නෑර මේ දෙදෙනාට පවසන ජතායු රාවණ විසින් සීතාව රැගෙන ගියේ දකුණු ප්‍රදේශයට බව පවසනවා.

 

 

ජතායු සහ ඔහුගේ සහෝදරයා වන සම්පාති කියන්නේ ඉතා ඉහළ අහසේ පියාසර කළ හැකි දෙදෙනෙක්. පුරාවෘත්තයට අනුව තරුණ වයසේදී මේ දෙදෙනාට ඒ හැකියාව හොඳින්ම තිබූ බව සඳහන් වනවා. එක දවසක් මේ දෙදෙනා අහසේ පියාසර කරමින් සිටියා. ජතායු ඉහළටම පියාසර කළා. ඉහළට.. තවත් ඉහළට… තව තවත් ඉහළට…

 

 

අවාසනාවක මහත… ජතායු තමන්ටත් නොදැනීම කොයිතරම් ඉහළට පියාසර කළාද කිව්වොත් හිරුගේ රැස් වළල්ල ආසන්නයටම ඔහු ළං වුණා. හිරුගේ ගිනි සිළු දෙසට ජතායුව ඇදී යන්න වුණා. මේ වෙලාවේ තමන්ගේ බාල සොයුරා වන ජතායුව හිරු රැසින් බේරා ගැනීමට සම්පාති තමන්ගේ පියාපත් විහිදුවා ඔහුව ආවරණය කරනවා. මෙන්න මේ හේතුව නිසා සම්පාතිට තරුණ වියේදීම තම පියාපත් අහිමි වෙන්නේ ජීවිත කාලයටම පියාපත් නොමැතිව සිටීමේ ඉරණම උරුම කර දෙමින්.

 

 

රාම – ලක්ෂ්මණ දෙපළ සීතා සොයා පැමිණෙන අවස්ථාවේ ජතායු සමඟ කතාබහ කරද්දි ජතායු අවසානය කරා ළඟා වී ඇති බව රාම කුමරුට තේරෙනවා. ඒ නිසා රාම තීරණය කරනවා ජතායුට මෝක්ෂය ලබා දෙන්න. ඒ වගේම සීතා ගේ අහිමි වීමෙන් පීඩාවට පත් වූ රාමව අස්වැසීමට මරණාසන්න ජතායු ඔහුගේ හිත හදනවා.

” සීතා දේවිය ඉක්මනින් ම ආපසු ඒවි. ඔබ දුක් නොවී සිටින්න. මම දන්නවා ඇය ආපසු කෙසේ හෝ පැමිණෙන බව.”

මේ තරම් මරණීය තුවාල ලබා හෝ වේදනාවෙන් සිටින ජතායු තමන්ගේ හිත හැදීමට උත්සාහ කිරීම රාමට ඉවසුම් නොදුන් කරුණක් වුණා. සීතාගේ අහිමි වීමට වඩා ජතායු ගේ අහිමි වීම තමාව බොහෝ සෙයින් රිදවන බව ඔහු ජතායුට කියා සිටියා. ඔහු ජතායුව තදින් වැළඳ ගත්තා. ඒ වගේම මරණය කරා යාමට ආශිර්වාද කළා.  ජතායු ඔහුගේ පියාට සමාන බව පැවසූ රාම පක්ෂීන් වෙනුවෙන් සිදු කරන අවසන් චාරිත්‍ර සිදු කරන්නට සූදානම් වුණා. මේ වගේ සංවේදී මොහොතක සිය මනුෂ්‍යත්වය ප්‍රකට කළ රාමට සීතාගේ අහිමි වීම හා ඇය සොයා යාම පවා අමතක වුණා.

 

 

රාවණ විසින් තටු කපා දැමූ පසු ජතායු ඇද වැටුණු ස්ථානය ලෙස සැළකෙන ස්ථානයේ පර්වතය මුදුනේ ජතායු වෙනුවෙන් යෝධ පිළිරුවක් ඉදිකර තිබෙනවා. ඉන්දියානුවන් රාමේෂ්වරම් හි තිබෙන  එම ස්ථානය හඳුන්වන්නේ “ජතායුමංගලම්” යන නමින්.  අද වෙද්දි මේ ස්ථානය ජතායු ජාතික උද්‍යානය නමින් නම් කර තිබෙනවා. අක්කර 65කට ආසන්න භුමි ප්‍රමාණයක් මේ උද්‍යානය සතුයි. මෙම මූර්තිය අඩි 200 ක් දිග අඩි 150 ක් පළල හා අඩි 70 ක් උස වන අතර වර්ග අඩි 15,000 ක භූමි ප්‍රමාණයකින් සමන්විත වනවා.  මේ ස්ථානයට ළඟා වීමට කේබල් කාර් ක්‍රමයක් ද ඉන්දීය බළධාරීන් විසින් සකස් කර තිබෙනවා. මේ කේබල් කාර් ඔස්සේ ජතායුට සමීප වීම නම් සංචාරකයන්ට අපූර්ව අත්දැකීමක් බව නම් නොඅනුමානයි.

 

 

 

වාල්මිකිගේ රාමායණය පිළිබඳ බොහෝ මතවාද තිබුණත් ජතායු හා රාවණ රජුගේ සටන හා පුරාවෘත්ත කතාව සම්බන්ධයෙන් ඉතාම රසවත් කතා තවත් බොහෝමයක් පවතිනවා. ඒ කෙසේ වෙතත් ලෝකයේම අවධානය දිනා ගත් ජතායු දකින්න හා මේ පුරාවෘත්ත කතාවේ ඇත්ත නැත්ත දැන ගන්න ඉන්දියාවේ කේරළයට යන්නම වෙනවා.

 

– සුපුන් භාග්‍යා වීරකෝන් – 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG