
නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට සහභාගිවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමුළුවේ කටයුතු නිමාවත් සමග අද නේපාලයේ දෙදින රාජ්‍ය සංචාරය ආරම්භ කළා. එහි පළමු කටයුත්ත සනිටුහන් කරමින් ජනාධිපතිතුමා එක්වූයේ බුදුන් වහන්සේ උපත ලද අසිරිමත් ලුම්බිණිය ඇතුළු ආගමික ස්ථාන කිහිපයක් වැඳපුදා ගැනීමටයි.
ලුම්බිණිය පුදබිම වෙත අද පෙරවරුවේ ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහත් හරසරින් යුතුව පිළිගත්තේ එරට පළාත් ප්‍රධාන අමාත්‍ය සහ සංස්කෘතික අමාත්‍යවරයා විසින්. අනතුරුව ජනාධිපතිතුමා ආගමික වතාවත්වලට එක්වුණා. එහිදී ලුම්බිණිය වෙත පැමිණෙන කිසිදු රාජ්‍ය නායකයෙකුට පවා අවස්ථාවක් නොලැබෙන සිදුහත් කුමරු උත්පත්තිය ලබා පළමු පියවර තැබූ ස්ථානය ස්පර්ශ කරමින් වන්දනාමා කරගැනීමේ දුර්ලභ අවස්ථාව ජනාධිපතිතුමා වෙත සළසා තිබීමයි. ලුම්බිණි ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර පූජ්‍ය ගලහපිටිය ප්‍රේමරතන නායක ස්වාමීන් වහන්සේ මෙහිදී ආගමික වතාවත් සිදුකර ජනාධිපතිතුමා ඇතුළු පිරිස වෙත ආශිර්වාද පළකළා. අනතුරුව ජනාධිපතිතුමා එහි නිලධාරීන්ට දන්වා සිටියේ ලුම්බිණියේ සංවර්ධන පදනම විසින් සිදුකරන සංවර්ධන කටයුතු පිළිබද තමන් දැනුවත් කරන ලෙසයි. එම කටයුතු සදහා අවශ්‍ය ඕනෑම සහායක් ලබාදීමට සූදානම් බවද ජනාධිපතිතුමා පැවසුවා. අනතුරුව ජනාධිපතිතුමා වැදපුදා ගත්තේ ලුම්බිණි පුදබිමේ පිහිටි මායාදේවි විහාරයයි.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ මෑණියන් වූ මහාමායා දේවිය නමින් ඉදිකර ඇති මෙම විහාරස්ථානය 1997 දී යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට එක්කර තිබෙනවා. මෙම විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිලිණයක් ද පිළිගන්වනු ලැබුවා. අනතුරුව ජනාධිපතිතුමා ගියේ ලුම්බිණි පුදබිමේ පිහිටි ශ්‍රී ලංකා මහා විහාරය වෙතයි. ශ්‍රී ලංකා මල්වතු මහා විහාර පාර්ශ්වය මගින් පාලනය කෙරෙන මෙම විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වලට සහභාගිවූ ජනාධිපතිතුමා එහි තැන්පති කර ඇති සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගත්තා. ලුම්බිණිය වන්දනා කරන ශ්‍රී ලාංකික බැතිමතුන්ගේ නවාතැන් පහසුකම් වෙනුවෙන් ඉදිකර ඇති දුටුගැමුණු විශ්‍රාම ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා එහි අඩුපාඩු පිළිබදව ද සොයා බැලුවා. ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් එම පරිශ්‍ර යේ නා පැලයක් රෝපනය කළේ ඉන් අනතුරුවයි. මේ අතර නේපාලයේ කත්මන්ඩු නුවර පිහිටි සුප්‍රසිද්ධ පූජනීය හින්දු කෝවිලක් වන පශුපතිනාත් විහාරයේ ආගමික වතාවත් සදහා ද ජනාධිපතිතුමා ඊයේ පස්වරුවේ එක්වුණා. මෙම විහාර සංකීර්ණය 1979 වසරේ යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත්කර ඇති අතර ලොව විවිධ රටවල දහස් සංඛ්‍යාත භක්තිකයින්ගේ වන්දනාමානයට මෙම ස්ථානය ලක්වනවා.
Post a Comment