Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විශ්වයම බේරා ගන්න පෘථිවිය අතහරින පුංචි කෙල්ල – ඇලිසා කාසන්  

Add comments

මිනිස්සු අරමුණු බදා ගන්නවා. හීනවලට ආදරේ කරනවා. සමහර හීන හැබෑ කර ගන්න පුළුවන් ඒවා. තවත් දේවල් සැබෑ කර ගන්න බැරි හීන. කොහොම වුණත් මේ හැම හීනයකටම අසීමාන්තිකව කැපවීම නම් අතිශය වැදගත් වෙනවා. අපිට තියෙන හීන ගෙයක් දොරක් ගැන වෙන්න පුළුවන්, නැත්නම් වාහනයක්, හොඳ විවාහයක්?? එහෙමත් නැතිනම් උසස් අධ්‍යාපනය ගැන වෙන්නත් පුළුවන්. ඒ දේවල් වෙනුවෙන් අපි ආසාවෙන් හා කැපවීමෙන් වැඩ කරන එක වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි බිලියන ගණන් මිනිස්සු සහ සතුන් වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරලා අවසානයට හැම දෙයක්ම දාලා ගිහින් වෙන ග්‍රහලෝකයක තනි වෙන්න කියලා ඔබට කෙනෙක් කිව්වොත්??? ඔබ මොකද කරන්නේ???

ඒ ගැන මේ ලිපිය කියවලා අවසන් වෙලා හිතන්න ඉඩ තියලා අපි බහිමු කතාවට.  මේ කියන්න හදන්නේ වසර 2023දී අඟහරු ග්‍රහයා වෙත යාමට සූදානමින් ඉන්න පුංචි කෙල්ල ඇලිසා කාසන් ගැන.

 

 

ඇලිසා කාසන්… හරිම සුන්දර හැබැයි තමන්ගේ සම වයසේ තරුණ තරුණියන් ට වඩා වෙනස්, ජීවිතේ අසීරුම තීරණයක් වෙනුවෙන් කාලය මිඩංගු කරන තවමත් 17 හැවිරිදි වියෙහි පසුවන කෙල්ලෙක්. හුඟක් අය ඇලිසාව දැක්ක ගමන්ම හිතන මුල්ම දේ තමයි… ආ….හ්.. තවම ඉස්කෝලෙ යන පොඩ්………ඩි කෙල්…..ලෙක්නේ… කියලා. ඒත් ඔබ දන්නවාද මේ පුංචි කෙල්ල අඟහරු මත මිනිස් ජනාවාස ඉදි කිරීමේ පුරෝගාමී චරිතය වෙන්න යන බව???

සමවයසේ යහළු යෙහෙළියන් පාසල් යනකොට ඇලිසා මුළු මහත් මිනිස් වර්ගයා වෙනුවෙන් තමන්ට පැවරෙන ඓතිහාසික රාජකාරිය සඳහා කැප වෙන්න හිත හදාගෙන ඉවරයි. ඒ වෙනුවෙන් ඇයට බොහෝ දේ අහිමි කර ගන්න සිධ වෙනවා. ඒත්…. ඇයගේ ආත්ම ශක්තිය හුඟක් බලවත්.

 

මොකක්ද මේ අඟහරු ගමන?? 

2023 වසරේ දී අඟහරු ග්‍රහයා ජනාවාස කිරීමේ ව්‍යාපෘතිය The Mars One Mission ලෙස හඳුවනවා. ඒ යටතේ පෘථිවිය හැර දමා අඟහරු ලොවට යන අයට යළි කිසිදා ආපසු ඒමේ හැකියාවක් නැහැ. පසුගිය අප්‍රේල් මාසයේ මේ වෙනුවෙන් අයදුම් පත් කැඳවා ඒ අතරින් තෝරාගත් 1058 දෙනකු මේ වන විට පළමු වටය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. ඒ අතරිනුත් අඟහරු මතට යන ගමන සඳහා පුහුණුවට තෝරා ගැනෙනුයේ 40 දෙනෙක්. මේ හතළිස් දෙනාගෙන් පළමු ගමන් වටය සඳහා සිවු දෙනෙක් තෝරා ගැනෙනවා. රතු ග්‍රහයා කරා යන ගමන 2022 සැප්තැම්බර් මස පිටත් වීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම ඔවුන් රතු ග්‍රහයා මත ගොඩබැසීමට නියමිතව තිබෙන්නේ ඉන් මාස 7කට පස්සේ ඒ කියන්නේ 2023 වසරේ අප්‍රේල් මාසයේයි.

 

 

අාපසු මහපොළොවට ඒමක් නොමැතිව මුළු ජීවිත කාලය පුරාම අඟහරු ලෝකයේ තනිවෙන්නට යන මේ ගමන සඳහා පුහුණුවීම් හත් වසරක් පුරා සිදු කිරීමට නාසා ආයතනය කටයුතු සූදානම් කරලා තිබෙනවා. ඒ සඳහා පුහුණුවීම් මේ වෙද්දි ආරම්භ වෙලා තිබෙනවා. පොළොවට සැතපුම් මිලියන 40 ක් ඈතින් පිහිටි අඟහරු කරා යන මේ ගමන සඳහා වැය වන මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ක්. වෙනෙකක් තබා නාසා ආයතනයේ රෝවර් ව්‍යාපෘතිය සඳහා වැය වූ මුදල ඩොලර් බිලියන 1.8 ක් වෙනවාත හැබැයි මේ සියලු කටයුතු සංවිධානය කරන්නේ නාසා හෝ වෙනත් අභ්‍යවකාශ ආයතනයක් නෙවෙයි. Mars One කියන ලාභ නොලබන සංවිධානය විසින්. බාස් ලෑන්ස්ඩොප් නමැති ඉංජිනේරුවා මේ සංවිධානයේ නිර්මාතෘවරයා වනවා.

පුහුණුව..

අඟහරු වෙත යන කණ්ඩායමේ පුහුණු කිරීම්වල දී අඟහරු මත පදිංචි කෙරෙන ආකෘති අලුත්වැඩියාව, ඒවායේ විද්‍යුත් උපකරණ හැසිරවීම, විශේෂිත වූ ඉඩ කඩ තුළ බෝග වගාව සහ ශරීර සෞඛ්‍ය රැක ගැනීම පිළිබඳව ද පුහුණුවක් ලබා දෙනවා. අඟහරු වෙත යන මාස හතක දීර්ඝ ගමන ද ලෙහෙසි පහසු ගමනක් නොවෙයි. ඉතාම වෙහෙසකාරී දිගු ගමනක් වන මෙහිදී කිසිම කෙනෙකුට නාන්නවත් ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි කන්න ලැබෙන්නේත් ටින් කළ ආහාර විතරයි.

අඟහරුගේ මතුපිට වාතාවරණය ඉතාම තුනියි. මේ නිසා මුල් පදිංචිකරුවන් සිවු දෙනාට අභ්‍යවකාශ ඇඳුම්වලින් තොරව එළිපහලියට යෑමට ද ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ අය අඟහරු මත දී වාසය කෙරෙන කුටීර නිතරම පීඩනයට ලක් කර තැබීම ද අවශ්‍ය වෙනවා. රතු ග්‍රහයා මතුපිට වගා කළ හැකි වෙන්නේ විශේෂයෙන් සැලසුම් කළ බෝග වගා ඒකක ඇතුළත පමණයි. කිසිදා මහපොළොවට නොඑනා මේ ගමන යන්න මේතරම් පිරිසක් පොරකද්දී රතු ග්‍රහයා මතුපිට දෙවැනි ජනාවාසය ඇරැඹීමට ද දැන් අවධානය යොමු කෙරෙමින් පවතී. හැබැයි ඒක සිද්ධ වෙන්නේ නම් පළමු පදිංචි කිරීමෙන් දෙවසරකට පසුවයි. ඒ කියන්නේ 2025දීයි.

 

 

” මට කවදාවත් ම මම ආදරේ කරන අය මුණ ගැහෙයිද? හාත්පස අඳුරු හිස් අවකාශය තුළ හිස් කුටීරයක  හිර වෙලා නාදුනන මිනිස්සු එක්කමාස 6ක්? නෑ නෑ 9ක්? අවුරුද්දක්? දෙකක්? තුනක්? ගත කරන එක… මගෙ දෙයියනේ..  අඟහරු ග්‍රහයා මත මිනිස් ජනාවාස බිහි කරන ගමනෙදි මිනිසුන්ට හිතකර පරිසරයක් එහි ගොඩ නඟලා තියෙනවා. සැතපුම් මිලියන 40ක් දුර තියෙන ග්‍රහලෝකයක නවීන පහසුකම් කිසිම දෙයක් නැතිව අඳුරු, හිස්, සීතලෙන් පිරුණු ගැඹුරු හිස් අවකාශයක් ඔස්සේ අපි අඟහරු ගමන ගැන කතා කරනවා. ඒත් අපි කවදාවත් කතා කරන්නේ නැහැ ආපහු පෘථිවියට එන්නේ කොහොමද කියන දේ ගැන.  මොකද අපි දන්නවා …. ඒක කවදාවත්ම සිද්ධ වෙන්නේ නැති බව. ඒ කියන්නේ අපි අඟහරු මතට ගියොත් අපිට ආපහු කවදාවත් ම පෘථිවියට එන්න බැහැ.”

අඟහරු වෙත යන ගමන ඒ තරම් සුවපහසු ගමනක් නෙවෙයි. දැඩි ශීතලක් එක්ක අඳුරු හිස් අවකාශයක් තුළ ඉදිරියට කුමක් වේදෝයි නොදන්නා පිරිසක් ජීවිතේට පය ගහලා නැති ග්‍රහලෝකයකට යන එක නිකමටවත් හිතා ගන්න බැරි දෙයක්. ඒ අය අතරේ ඉන්න මේ 17 හැවිරිදි පුංචි ඇලිසාගේ ආත්ම ශක්තිය කොයිතරම් ශක්තිමත්ද? මේ අප්‍රසන්න සත්‍යය ගැන කිසිවක් නොසිතන ඇලිසා රතු ග්‍රහයා මතදෙපයින් සිට ගන්නා දිනය තෙක් ඇඟිලි ගනිමින් සිටින්නේ ඒ වෙනුවෙන් අසීමාන්තික කැපවීමෙන් පුහුණුවීම් කරමින්…  වෙන රටක ඉන්න පුරුදු වෙනවා වගේද වෙන ග්‍රහලෝකයක ඉන්න පුරුදු වෙන එක??

 

 

තරුණ අභ්‍යවකාශ සංචාරකයන් අතර නව යොවුන් වියේ සිටින ඇලිසා මේ ගමන වෙනුවෙන් අනෙක් සියලුම බලාපොරොත්තු අතහැර දමලා තිබෙනවා. ඇය කියන විදියට අවදානමට වඩා මේ ගමනෙන් පෘථිවි වාසීන්ට විශාල ප්‍රතිලාභයක් අත්කර ගත හැකියි. අඟහරු ලමන ගැන ඇලිසාගේ ආශාව ආරම්භ වෙන්නේ ඇත්තම කිව්වොත් ඇයට අවුරුදු තුනේදීයි. NASA ආයතනය ඇයට ලබා දී ඇති සුරතල් නාමය තමයි ” බ්ලූබෙරි” කියන්නේ. The Backyardigans කියන ළමා වැඩසටහනේ අඟහුරු මෙහෙයුම ගැන කතා කරන්න ඇලිසා ගේ තාත්තා බර්ට් කාසන් මහත්තයා ඇලිසා ගේ මේ ඓතිහාසික ගමන ගැන මෙහෙම කියනවා.

” ඇත්තම කිව්වොත් මම කවදා කොයි වෙලාවේ ඇලිසා ට අඟහරු ග්‍රහයා ගැන කියලා දුන්නාද කියන්න මට මතක නැහැ. ඒත් ඇගේ නිදන කාමරයේ අඟහරු මෙහෙයුම ගැන පෝස්ටරයක් අලවා තිබෙනවා. ඉතින් මං හිතන්නේ ඇය කොහෙන් හරි දැකපු දෙයක් අනුව වෙන්න ඇති මේ තරම් තරුණ වයසකදි මේ ගැන හිතෙන්න ඇත්තේ.” 

ඇලිසාට වයස අවුරුදු 12දී අඟහරු පිළිබඳ අනාගත මෙහෙයුම් ගැන සාකච්ඡා කිරීම වෙනුවෙන් ඇමරිකාවේ වොෂින්ටන් DC හිදි පැවති  සමුළුවකට සහභාගි වෙන්නට ඇයට හැකි වෙනවා. එහිදී ඇය අඟහරු හැඳින්වූයේ ” නිවස” ( Home) යන නමින්. ඉතාම අඩු වයසකදී ඒ කියන්නේ වයස 16දී ඇය “PoSSUM” (Polar Suborbital Science in the Upper Mesophere ) ඇකඩමියෙන් අභ්‍යවකාශ ගගනගාමී පුහුණුව පිළිබඳව උපාධිය ලබා ගැනීමට සමත් වෙනවා. එහි පුහුණුව ලැබූ ලාබාලතම පුද්ගලයා වන්නේද අපේ මේ පුංචි ඇලිසා කාර්සන්.

 

 

” මෙහෙමයි, මේ වගේ අඩු වයසක දරුවෙක් අඟහරු මෙහෙයුමට තෝරා ගැනීමම අතිශය බරපතල කාරණාවක්. ඒත් ඇලිසාගේ දක්ෂතා සහ අපි බලාපොරොත්තු වුණාටත් වඩා ඇය පෙන්වූ සුදුසුකම් නිසා අපට ඇයව ප්‍රතික්ෂේප කළ නොහැකි වුණා.” 

“PoSSUM” ව්‍යාපෘතිය භාර නිළධාරියා ඇලිසා ගැන එහෙම කියනවා.

අභ්‍යවකාශ පර්යේෂණ හා අධ්‍යාපන වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ජේසන් රේමියුලර් කියන්නේ අඟහරු ගමන සමඟ ඇලිසාගේ එක්වීම සහ ඇය පුංචි වයසකදි ජාත්‍යන්තර වශයෙන් සියලු දෙනා අතර ප්‍රසිද්ධ වීම විද්‍යාව  සාමාන්‍ය ජනතාව අතරට ගෙන යා හැකි උපක්‍රමයක් ලෙස දකින බව පවසනවා. ඒ විතරක් නෙවෙයි අවුරුදු 17ක් වුණාට ඇලිසාට චීන භාෂාව ඇතුළු විවිධ භාෂාවන් රාශියක් කතා කිරීමට ඇති චතුර හැකියාව ද අඟහරු ගමනට ඇයව එක්කර ගැනීමට බලපෑ තවත් සුදුසුකමක් බව රේමියුලර් මහත්තයා කියනවා.

” ඒ සම්බන්ධයෙන් ඇයටම අනන්‍ය වූ පසුබිමක් තිබුණා. ඉතින් අපි තීරණය කළා ඇගේ වයසේ පසුවන තරුණ තරුණියන්ටත් අවස්ථාවක් දීලා බලන්න ඕනේ කියලා. මේක අපිට හොඳ අත්හදා බැලීමක්. ” 

“PoSSUM” ව්‍යාපෘතිය කියන්නේ ලාභ නොලබන පරික්ෂණයක්. එය NASA ආයතනය සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය සමඟ වරින්වර ඒකාබද්ධව සිදු කරනවා. මෙහිදි ඇලිසාට අභ්‍යවකාශයේදී ඇඳුම් භාවිත කිරීමේ පුහුණුව, දිය යට ජීවිතාරක්ෂක පුහුණුව, ගුරුත්ව පුහුණුව, හා පීඩන පුහුණුව ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි අභ්‍යවකාශ කායික විද්‍යාව, අභ්‍යවකාශ වායුගෝලය පිළිබඳ විද්‍යාල මට්ටමේ පාඨමාලා සඳහා ඇය ලියාපදිංචි වී සිටිනවා. ඒ විතරක් නෙවෙයි පර්යේෂණ හා උපකරණ භාවිතය පිළිබඳ පුහුණුව ද  ඇය ලබමින් සිටිනවා.

 

 

මේ සියලු ඉගෙනුම් කටයුතු ඇය සිදු කරන්නේ ඇගේ දෛනික පාසල් වැඩ ප්‍රමාණයට සමගාමීව වීම විශේෂත්වයක්. මේ වැඩසටහන තාරකා ජීව විද්‍යාව පිළිබඳව ඇගේ වර්තමාන අධ්‍යයනයන් අඟහරු මත අනාගත ජනාවාස පිහිටුවීමේදී ඈ සමඟ ජීවත් වන කණ්ඩායම සමඟ වැඩ කරන්න හොඳ පදනමක් සපයන බව නම් විශ්වාසයි. අඟහරු මෙහෙයුමට සම්බන්ධ වීමෙන් ඇලිසාට පුද්ගලික ජීවිතයට ස්වයං වාරණයක් පනවා ගැනීමට සිදුවී තිබීම මේ හැම අභියෝගයකටම වඩා අසීරුයි. මේ වෙනුවෙන් ඇයට පවුල් ජීවිතයක් ගත කිරීමේ සිහිනය පවා අහිමි වෙනවා.

පෘථිවියෙන් ඈත්ව සිටින කාලය තුළ ඇලිසා හෝ ඇයගේ කණ්ඩායම අතින් යම්කිසි දුරාචාරයක් සිදු වුවහොත් එහි අවදානම පිළිබඳව ඇලිසා සහ ඇගේ පියා හොඳින්ම දැනගෙන හිටියා.

” හොඳම හරිය තමයි මට ඇලිසාව අවුරුදු තුනකට දකින්න ලැබෙන්නේ නැති එක. නරකම හරිය තමයි මොකක් හරි දෙයක් සිද්ධ වුණොත්?? එහෙමත් නැතිනම් අඟහරු මතට ගිහින් එහි ජනාවාස පිහිටුවා ගන්න ඇය නැවතුණොත් කියන එක.”

 

 

තාත්තා කෙනෙක් විදියට තමන්ගේ දුව ගැන මේ විදියට විවෘතව හිතන එක ඒ තරම් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. දරුවන්ගේ සිහින, ආශාවන් වෙනුවෙන් මව්පියන්ට තමන්ගේ හැඟීම් පාලනය කර ගන්න සිද්ධ වෙනවා. ඒක සමස්ත මිනිස් වර්ගයා වෙනුවෙන් ඇලිසා ගන්න යෝධ පියවරක් බව කාසන් මහත්තයාට තේරෙන්න ඇති.

” අන්තිමේදි මම තේරුම් ගත්තා මේ යෝධ පියවර අපි දෙන්නාගේ බැඳීමට වඩා හුඟාක් විශාල බව. ඉතින්… මම එයාට යන්න ඉඩ දෙන්න ඕනේ”. 

අඟහරු වෙත යන මේ පිරිස යම් දිනෙක ආපසු පැමිණියොත් පෘථිවිය මත තමන්ගේ ජීවිතයේ ඉතිරි කොටස සම්පූර්ණ කරන්න ඔවුන් ට හැකි වේවි. විවාහ වෙන්න, ආදරය කරන්න, හොඳ පවුල් ජීවිතයක් ගෙවන්න පුංචි ඇලිසාටත් හැකි වේවි. හැබැයි අපි නිකමට හිතමු මේ සැළසුම් කළ විදියටම හැමදෙයක්ම සිද්ධ වුණා කිියලා. එහෙම නම් ඇලිසා ආපහු එද්දි ඇය ඇගේ ජීවිතයේ තිස්වෙනි කඩඉමේ පසු වේවි. අවුරුදු 30ක්??? නැහැ නැහැ ඇලිසා ප්‍රමාද නැහැ. ඒක තමයි හොඳම වයස…

” මට හිතෙන්නේ මම ආපහු පෘථිවියට එද්දි මම ඉපැරණි පුරාවෘත්තයක් වෙලා ඉඳීවි කියලා”

ඇලීසා විහිළුවට එහෙම කිව්වට අවුරුදු පහළොවක් විස්සක් විතර ගිහින් ආපහු පෘථිවියට එද්දි මොන තරම් වෙනස් වෙලා ඉඳියිද? මේ පරිසරයට ආපහු හැඩ ගැහෙන්න, කන්න බොන්න, ඇවිදින්න, මිනිස්සුන් ව අඳුන ගන්න මේ කණ්ඩායමට ආපහු කාලයක් ගත වේවි. අඟහරු ගමන අතරවාරයේ හෝ අඟහරු වෙත ගිය පසු මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය පිළිබඳව නිරීක්ෂණය කිරීමට ද ඇලීසාට සිදු වෙනවා. එහිදි ඇය රෝග නිවාරණ ශල්‍යකර්මවලට මුහුණ දිය යුතු වෙනවා. උදාහරණයක් විදියට සෙම්ගෙඩි වගේ රෝග හැදෙන එක වළක්වා ගන්න ඇයට විවිධ ප්‍රතිකාර සඳහා යොමු වෙන්න සිදු වෙනවා. ඕනෑම අභ්‍යවකාශ මෙහෙයුමකදී මේ විදියට පරික්ෂණවලට මුහුණ දීමට සිදුවීම සාමාන්‍ය දෙයක්.

 

 

මේ සංචාරය කොහේ හෝ තිබෙන මුහුදු වෙරළක සීත සැඳෑවක් ගත කරන්න ගුවන් ටිකට්පතක් වෙන් කරගෙන යන විනෝද චාරිකාවක් කියලා ඔබට හිතෙන්න පුළුවන්. නෑ ඒක එහෙම දෙයක් නෙවෙයි. මේ යන්නේ කිසිම දවසක මිනිහෙක් පය තියලා නැති කොයි වගේද කියලාවත් අදහසක් ගත නොහැකි වෙනමම ග්‍රහලෝකයකට. මේ ගමන සඳහා මාස 6ක කාලයක් ගත වෙනවා. ඒ වගේම අවුරුද්දකට වැඩි කාලයක් ඔවුන් එහි රැඳී සිටිය යුතු වෙනවා.

මේ වන විට ඇලිසා කාසන් අභ්‍යවකාශයට ගිය ළාබාලතම යෞවනිය වීමට සිහින දකිනවා. යම් විදියකින් ඇගේ මේ සිහිනය සැබෑ වුණොත් 1969 දී ඇපලෝ 11 යානයෙන් සඳ මත පා තැබූ නීල් ආම්ස්ට්‍රෝන්ග්, එඩ්වින් ඕල්ඩ්‍රින් දෙපළ සඳ මත පා තැබීමෙන් තැබූ අමරණීය මතකය වැනිම මතකයක් ඇලිසා කාසන්ට ද  සනිටුහන් කරන්නට හැකි වේවි.

” අපේ මේ අඟහරු ගමන ඊළඟ පරම්පරාවට හොඳ උත්තේජනයක් වේවි”. 

ඇලිසා එහෙම කියනවා. මිනිස්සුන්ට සිහින තිබෙනවා. ඒ සිහින පස්සේ හැල්මේ දුවන ලෝකයක ඇලිසා ට තියෙන්නේ ලේසියෙන් ළඟා කර ගත හැකි සිහිනයක් නෙවෙයි. ඇලිසාගේ සිහිනය වෙනුවෙන් ජීවිතේ හොඳම කාලය නොදන්නා ලෝකයක ගත කිරීමට ඇය සූදානම්. අභියෝග ජය ගන්න ඔබට තියෙනවා නම් බයක්, පැකිළීමක්.. මම ඔබට කියනවා… ඔබට හොඳ ආදර්ශයක් ඇලිසා කාසන් සපයාවි. ඇත්තටම ඇය තරුණියක විදියට අපි හැම කෙනෙක්ටම ලබා දෙන්නේ ලොකු පණිවුඩයක්.

 

 

” ඔබ ඔබම වෙන්න..
ඔබේ ක්‍රමයට ලෝකය දකින්න..
තමන්ගේ ක්‍රමයට ලෝකය දකින මිනිස්සු කවදාවත් පරදින්නේ නැහැ..
ඔවුන් හැමවිටම මෙහෙයවන්නන් මිස කවදාවත් අනුගාමිකයන් වෙන්නේ නැහැ.” 

 

– සුපුන් භාග්‍යා වීරකෝන් –

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG