Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අකාර්යක්‍ෂම රාජ්‍ය සේවයට තිත තබන බව ජනපති කියයි  

Add comments

අකාර්යක්‍ෂම රාජ්‍ය සේවයට තම ධුර කාලයේදී තිත තබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අවධාරණය කරනවා. ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව කියාසිටියා.

පැවති සෑම රජයක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්‍ෂමතාව තම ධුර කාලයේදී අවසන් විය යුතු බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. දෛනික ජන ජීවිතයට සෘජුව සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන කාර්යක්‍ෂමව හා විනිවිදභාවයෙන් යුත් පිරිසිදු ආයතන බවට පත් විය යුතුයි. රාජ්‍ය සේවයේ කාර්යක්‍ෂමතාව සහතික කිරීමට නම් අවශ්‍ය අණපනත් මෙන්ම රෙගුලාසි කඩිනමින් සංශෝධනය විය යුතු වනවා. සියලු රාජ්‍ය සේවාවන් සරළ මෙන්ම ජනතාව අපහසුතාවට පත් නොවන ක්‍රමවේදයකින් ක්‍රියාත්මක විය යුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. රාජ්‍ය සේවය පිළිබඳ ජනතා විශ්වාසය යළි තහවුරු කිරීම සියලු රාජ්‍ය සේවකයන්ගේ වගකීමක් බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා.

එහිදී විවෘත සංවාද,  සාකච්ඡා හා නොසගවා ගැටලු ඉදිරිපත් කිරීම ඉතා වැදගත්. රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු සඳහා හැකියාවන් මෙන්ම වෘත්තීය නිපුණත්වයක් ඇති පිරිස් බඳවා ගැනීමට විද්වත් කමිටුවක් පත් කළේ ද රාජ්‍ය සේවය රටේ කොඳු නාරටිය සේ සැලකූ නිසා බව ද ජනාධිපතිතුමා පැවසුවා. රාජ්‍ය සේවයේ සියලු අක්‍රමිකතා බැහැර කළ යුතුයි. ජන ජීවිතයට වැදගත් වන රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සොයා බැලීම හා වැරදිකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට තමා බුද්ධි අංශය සහ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දුන් බව ද ජනාධිපතිතුමා කියාසිටියා. රාජ්‍ය සේවකයෙකු දූෂණ වංචාවන්ට සම්බන්ධ වුවහොත් තරාතිරම නොබලා දඬුවම් ලබා දෙන අතර ඔහුට යළි කිසිදු දිනෙක රාජ්‍ය සේවයේ අවස්ථාවක් නොදෙන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. අල්ලස් ලබාගන්නන් මෙන්ම ඒවා ලබා දෙන අය ද නීතියේ රැහැනට හසුකර ගැනීම අපේක්‍ෂාවයි.

දෙස් විදෙස් සියලු දෙනා රට ගැන පැහැදීමක් ඇතිකර ගන්නේ රාජ්‍ය සේවයේ ක්‍රියාකාරිත්වය අනුවයි. රාජ්‍ය සේවකයන්ට වැටුප් මෙන්ම පහසුකම් සලසන්නේ ජනතාව උපයන ආදායමෙන්. මහජන සේවාව කාර්යක්‍ෂම කිරීමට නව තාක්‍ෂණික ක්‍රමෝපායන් අනුගමනය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ජනාධිපතිතුමා පසුගියදා කළ චාරිකාවෙන් අනතුරුව එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී සමාලෝචනයට ලක්වුණා. රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ වෛද්‍ය පරික්‍ෂණයේ සංකීර්ණභාවය පැහැදිලි කළ ජනාධිපතිතුමා සැහැල්ලු වාහන සඳහා ඇස් පරික්‍ෂාව පමණක් ප්‍රමාණවත් බව පෙන්වා දුන්නා.

එම පරික්‍ෂාව ද රෝහල් මට්ටමින් ලබා දීම පිළිබඳ සොයා බැලීමට තීරණය කෙරුණා. පූර්ණ වෛද්‍ය පරික්‍ෂණය බරවාහන රියදුරු බලපත්‍ර සඳහා සීමා කරන්නැයි ජනාධිපතිතුමා මෙහිදී දැනුම් දුන්නා. මැතිඇමතිවරුන් ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

 

 

 

 

The post අකාර්යක්‍ෂම රාජ්‍ය සේවයට තිත තබන බව ජනපති කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG